hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 12, පෙ.ව. 11:21



ළමා නිවාසවල සිටින දරුවන් ඉතා සූක්ෂම ලෙස රැගෙන විත් මත්ද්‍රව්‍ය පොවා කොළඹ නගරයේ ස්ථාන රැසක සිඟමනේ යෙදවීමේ ජාවාරමක් අනාවරණය කරගත් බව පොලිසිය අධිකරණයට ඊයේ (11) දැනුම් දුන්නා.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් එම දරුවන්ට මත්ද්‍රව්‍ය පෙවා මත් කිරීමෙන් අනතුරුව අත්, කකුල්, තොල් ප්‍රදේශ, කලව ඇතුළු දරුවන්ගේ ශරීරයේ විවිධ ස්ථාන යකඩ රත්කර පුලුස්සා තිබෙන බවද අනාවරණය වී ඇතැයි දන්වා සිටි පොලිසිය මෙවැනි දරුවන් 20 කට අධික ප්‍රමාණයක් මේ වනවිට කොළඹ නගරයේ පමණක් සිඟමනේ යොදවා ඇතැයිද අධිකරණයට දන්වා සිටියා.

එලෙස දරුවන් පුලුස්සා ඇත්තේ මහජනතාවගේ අනුකම්පාව වැඩි වශයෙන් දිනාගෙන සිඟමන් මුදල් තර කරගැනීමේ අරමුණෙන් යැයිද හෙළිවී තිබෙන බව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියා.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන පෑලියගොඩ නව නුගේ පාර පදිංචි නිලූකා ප්‍රියදර්ශනී නමැති සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුව ඉදිරිපත් කරමින් වැලිකඩ පොලිසිය එලෙස දන්වා සිටියා.

අදාළ සැකකාරිය අඹේපුස්ස ළමා නිවාසයක සිටි 11 හැවිරිදි පිරිමි දරුවකු කොළඹට සූක්ෂම ලෙස රැගෙන විත් දරුවාට මත්ද්‍රව්‍ය පොවා එම දරුවාගේ අත් පා, තොල් ප්‍රදේශ, පිටුපස ප්‍රදේශ යකඩ කූරු රත්කර පුලුස්සා තිබෙන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

අදාළ දරුවා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවද වැලිකඩ පොලිසියේ කොස්තාපල් (91921) අයි. අයි. ඒ. හසන් කොළඹ අති​රේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල වෙත දන්වා සිටියා.

එම 11 හැවිරිදි දරුවාට සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය පොවා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර ඇතැයිද දන්වා සිටි පොලිසිය අදාළ දරුවා පොලිස් භාරයට ගත් අවස්ථාවේදී ‘‘මට මත්කුඩු නැතුව ඉන්න බෑ අන්කල්’’ යනුවෙන් පැවසූ බවද සඳහන් කළා.

අදාළ දරුවා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමේදී ගුද මාර්ගය අසල රුපියල් 2 ක කාසියක් තරම් විිශාල පිලිස්සුම් තුවාලයක් දක්නට ලැබුණු බවද පොලිසිය දන්වා සිටියා.

අදාළ සැකකාරිය එම දරුවාත් රැගෙන රාජගිරිය, කොළොන්නාව, ඔබේසේකරපුර ප්‍රදේශයේ සිඟමනේ යෙදී තිබෙන බවත් එහිදී මුදල් ලබාදුන් පුද්ගලයකුට ඇතිවූ සැකය මත පොලිසියට මේ පිළිබඳව දැන්වීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ බවද වැලිකඩ පොලිසියේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සහ සිඟමනේ යොදවා ඇති දරුවන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන හෙයින් සැකකාරිය රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය ලබන 22 වැනිදා වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළා.