hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 5:08



ඉදිරියේදී ස්ථාපනය කෙරෙන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය එළිදැක්වීමත්, කලාප මට්ටමේ විශේෂ අධ්‍යාපන තක්සේරුකරණ කමිටු පිහිටුවීම සහ අන්තර්කරණ අධ්‍යාපනය කරා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමත් වෙනුවෙන්‍ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කහතුඩුවේ වෙනිවැල්කොළ පිහිටි විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඉතා කුඩාම අවධියේදීම දරුවන්ගේ විශේෂ තත්ත්වයන් වෙතොත් හඳුනාගැනීමට දියුණු රටවල තාක්ෂණය භාවිත කරමින් සකස් කළ විශේෂ ක්‍රමවේද තියෙනවා. අපේ රට තුළ තවමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කල්තියා හඳුනා ගැනීමේ ප්‍රමාදයන් තියෙනවා. මේ ක්ෂේත්‍රයට එය විශාල බලපෑමක්. මේ වෙනකොට ඔස්ට්‍රේලියාව වගේ රටවල්වල කථන සහ ශ්‍රවණ ආබාධ තියෙන කිසිම දරුවෙක් නෑ. අපිත් ඒ තත්ත්වයට අදියරෙන් අදියර ළඟා විය යුතුයි…”

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ සමාජමය සංස්කෘතිමය වශයෙන් මෙරට අභියෝග රැසක් පවතින බව පැවසු අමාත්‍යවරයා, ඔවුන් වෙනුවෙන් මීට වඩා අවධානය ලබා දිය යුතු බව ද කියා සිටියේය.

පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට ළදරු උපත් අනුපාතිකය අඩුවෙමින් පවතින වාතාවරණයකදීත් ඉපදෙන දරුවන්ගෙන් 6,000-8,000ක් අතර පිරිසක් වසරකට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වන බව පෙන්වා දුන්නා.

විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගුරු පුහුණු කටයුතු සඳහා සිංගප්පූරු රජයේ සහාය ලබාගැනීමට තමා අපේක්ෂා කරන බවත් පැවසු අමාත්‍යවරයා, ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමද ලබාගනිමින් විශේෂ දරුවන් කල් තියා හඳුනාගැනීමට ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට පැමිණිය හැකි, වෙනම ආයතනයක් පිහිටුවීමට පියවර ගන්නා බව සඳහන් වනවා.

එමඟින් මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ලබාදෙන දරුවන් සාමාන්‍ය පරිදි පළමු ශ්‍රේණියේ සිටම පාසල් වෙත ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවත් සමාජමය, ආර්ථික හා පෞද්ගලික හේතු මත තොරතුරු සඟවාගෙන සිටින, තොරතුරු වාර්තා නොවන පාසල් යැවිය යුතු වයසේ පසුවන නමුත් පාසල් නොයවන විශේෂ දරුවන් පිරිසක් සිටින බවත් ප්‍රාදේශීය මට්ටමින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: