hit counter

2026 ඔක්‍තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:01



ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ වියළි මිරිස් ටොන් 1150 ක් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ආහාර ආරක්ෂක ඒකකය අවසර නොදීම හේතුවෙන් ඉදිරි මාසයේදී මෙරට බරපතළ මිරිස් හිඟයක් ඇතිවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන බව වාර්තා වේ.

ඒ අනුව එම සංගමය වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ රුපියල් කෝටි 1500 ක් වටිනා මෙම මිරිස් තොගය වෙළෙඳ පොළට නිකුත් නොකිරීම නිසා ඉදිරියේදී මෙම හිඟය ඇතිවන බවයි.

ඊට පෙරාතුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLS) පමණක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කළත් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය ද වෙනම පරීක්ෂණයක් කරන බව එම සංගමයේ ලේකම් පැවසූ බව සඳහන්.

එමෙන්ම මෙම වියළි මිරිස් සාම්පලවල පුස් වර්ග ඇෆ්ලටොක්සීන් (Aflatoxin) 12% සීමාව ඉක්මවා 12.5% අඩංගු බව කියමින් එම තොග මුදාහැරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මෙම වියළි මිරිස් තොග මුදාහරින ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු නිලධාරීන් සමඟ කිහිප වරක්ම සාකච්ඡා කළත් මාස එකහමාරක් තිස්සේ එම තොග නිදහස් කරගැනීමට නොහැකිව ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව මෙම වියළි මිරිස් තොග නිදහස් කරගැනීමට නොහැකිවීම නිසා ආනයනකරුවන්ද කලකිරීමට පත්ව සිටින අතර ඉන්දියාවේ අපනයනකරුවන්ද මෙරටට වියළි මිරිස් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇති බව ඔහු අනාවරණය කළ බව සඳහන්.

එබැවින් මෙම තොග වහාම මුදාහැරීමට රජය අවශ්‍ය පියවරක් නොගතහොත් ඉදිරියේදී වියළි මිරිස් හිඟයක් ඇතිවී ඒවායේ මිල ගණන්ද ඉහළ යනු ඇති බවට ආනයනකරුවෝ අනතුරු අඟවන බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: