hit counter

2026 ඔක්‍තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:07



අධ්‍යාපනය ලැබීමේ සැබෑ අරමුණ වන්නේ ලෝකය නිවැරදිව තේරුම් ගෙන එය වඩාත් යහපත් ලෙස වෙනස් කිරීම බවත්, එම පදනම තමන්ට කියාදුන්නේ පාසල් පද්ධතිය නොව තහනමට ලක්ව තිබූ යුගයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද ‘නිල නොවන පාසලකින්’ බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනික උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සිය අතීත අත්දැකීම් සිහිපත් කරමින් පෙන්වා දුන්නේ, තමන් උසස් පෙළ ගණිත අංශයෙන් හදාරමින් සිටි කාලයේ එවකට තහනමට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණේ දින හතක නේවාසික දේශපාලන අධ්‍යාපන කඳවුරකට සහභාගි වීමට අවස්ථාව ලැබුණු බවයි.

අනුරාධපුරයේ මල්වතු ඔය අයිනේ, කෙසෙල් සහ වම්බටු වගාවන්ගෙන් වටවුණු කටුමැටි ගැසූ හේන් පැලක, ගොම මැටි ගෑ බිම පැදුරු දමාගෙන එම දින හතේ නේවාසික අධ්‍යාපනය හැදෑරූ ආකාරය ඔහු විස්තර කළේය.

එහිදී සරම සහ බැනියම හැඳ සිටි එම පාසලේ තරුණ විදුහල්පතිවරයා පිරිසෙන් විමසූ මූලිකම ප්‍රශ්නය වූයේ “ඇයි ඉගෙන ගන්නේ?” යන්න බවත්, පළමු වසරේ සිට උසස් පෙළ දක්වා නිල අධ්‍යාපන පද්ධතිය තුළින් කිසිදු දිනක නොලැබුණු පිළිතුර එම නිල නොවන පාසලෙන් තමන්ට හිමිවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

“ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගන්න. ලෝකය තේරුම් ගන්නේ දැන් තියෙනවාට වඩා යහපත් ලෙස ලෝකය සකස් කරන්න හෙවත් වෙනස් කරන්න” යනුවෙන් එම තරුණ විදුහල්පතිවරයා ලබාදුන් පිළිතුර මුළු ජීවිතයටම මඟපෙන්වීමක් වූ බව හෙතෙම සඳහන් කළේය.

මෙරට දේශපාලන පක්ෂ අතරින් තම සාමාජිකයන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදුන් එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවන් සහ තරුණ පරපුර අතට හසුවන සෑම පොතක්ම කියවීම වෙනුවට, තමන්ගේ මූලික පදනම ගොඩනගා ගැනීමට සහ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නිශ්චිත දැනුම තෝරා බේරාගෙන කියවිය යුතු බවත්, අනවශ්‍ය දේ බැහැර කර අත්‍යවශ්‍ය දැනුම ඔස්සේ ජීවිතය ගොඩනගා ගත යුතු බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: