hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 23, පෙ.ව. 12:13



රට ආයෝජන සඳහා පැමිණෙන ව්‍යාපාරිකයින් බවට පවසමින් චීන ජාතිකයින් දෙදෙනෙකු සහ ඊජිප්තු ජාතිකයෙකු පසුගිය 18 වනදා රාත්‍රී 9.50ට පමණ ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත් යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණා.

එහිදී මෙම තිදෙනාගෙන් එක් චීන ජාතිකයෙකු ආගමන විගමන නිලධාරීන්ට ඉදිරිපත් කර ඇත්තේ අප්‍රිකානු රටක් වන ගිනියා රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක්.

චීන නීතියට අනුව චීන ජාතිකයෙකුට වෙනත් රටක ගුවන් බලපත්‍රයක් භාවිත කිරීමට නොහැකි බැවින් අදාළ ගුවන් බලපත්‍රය සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහුගේ අනෙකුත් ලියකියවිලිද පරික්ෂා කිරීමට කටයුතු කර තිබුණා.

එලෙස සිදුකල පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ චීන ගුවන් ගමන් බලපත් රයක්ද ආගමන විගමන නිලධාරීන්ට හමුවී තිබෙනවා.

එහිදී අදාළ චීන ජාතිකයා කලහකාරී ලෙස හැසිරී ඇති අතර පසුව ගුවන් ගමන් බලපත්‍රය විමර්ශන සඳහා ආගමන විගමන නිලධාරීන් සන්තකයේ තබාගෙන චීන ජාතිකයාට මෙරටට ඇතුල්වීමට අවස්ථාව සලසා දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අදාළ චීන ජාතිකයාට මෙරටට ඇතුල් වීමට අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලා ආයෝජන ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට ලිපියක් යොමු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනාවක් එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

“මේ අය ලංකාවට එන්නේ ආයෝජකයන් හැටියට. ඒකට සම්බන්ධ වෙන සමාගමක් තියෙනවා. චීන සමාගමක්. චීන සමාගම කිව්ව කාරණාව තමයි මෙයා චීන ජාතිකයෙක්. එයාට චීන පාස්පෝට් එකක් තියෙනවා. මෙයාට අපේ රටට ඇතුල් වෙන්න අවසර දෙන්නෙයි චීන එකෙන්. මම ආගමන විගමන පාලකතුමාට කතා කරලා ඇහුවා දැනට මේ ජෙනුවින් එකක් තියෙනවා නම් මෙයාට ඇතුල් වෙන්න ඉඩ දෙන්න පුළුවන්ද කියලා. එතකොට එතුමාගේ උපදෙස් අනුව තමයි මම මගේ ලිපිය ඉදිරිපත් කරන්නේ.”

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

“චීන පාස්පෝට් එක තිබුන නිසා ඔහුට රටට ඇතුල් වෙන්න ඉඩ දීලා තියෙනවා. මම උපදෙස් දුන්නා ඒක වහාම නවත්තලා ඔහුව නැවත ගෙනල්ලා අපි චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ උපදෙස් අරගෙන අපි තීරණයක් ගන්නවා. අනිවාර්යෙන් විමර්ශනයක් කරනවා. හැබැයි විමර්ශනයක් කරන්නේ රාජ්‍ය ඇමතිට නෙමෙයි. දෙපාර්තමේන්තුව තුළ සම්බන්ධ වන නිලධාරීන් කවුද කියන එක පමණයි. ඒ මොකෝ ඕනම රාජ්‍ය ඇමති කෙනෙකුට, ඕනම ඇමති කෙනෙකුට ඔබතුමන්ලාට වුණත් ඕන එකකට අපේ නිලධාරීන්ට කතා කරන්න පුළුවන්. මටත් කෝල්ස් එනවනේ. ඉතින් එහෙම ආවට අපි දැනගන්න ඕනේ අමාත්‍යංශය වශයෙනුයි අපේ දෙපාර්තමේන්තු වශයෙනුයි හරි දේ කරන්න.”