hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 3:02



මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනයෙන් සියයට තිහක් පමණ වන සත්ව හා පළිබෝධ හානියට ලක් වන බැවින් එම උවදුරෙන් මිදීම සඳහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය මාධවී හේරත් මහත්මිය පවසනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලයට වසර 51ක් පිරීම නිමිත්තෙන් පේරාදෙණිය, ඒදඬුවාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකට පෙරේදා (30) සහභාගිවෙමින් සභාපතිවරිය මෙම අදහස් පළ කළා.

මෙම සිදුවන හානිය වන සත්ව හා පළිබෝධ වශයෙන් කොටස් දෙකකට බෙදෙන බව ත් වන සත්ව හානිය අවම කිරීම සඳහා පොල් වගාකරුවන් හට තුවක්කු ලබා දීම සඳහා මේ වනවිට සැලසුම් කොට ඇති බව ත් ඇය සඳහන් කළා.

ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,800ත් 3,000ත් අතර වන බවත් මින් සියයට තිහක් මෙන්ම මෙරට කෘෂිකාර්මික බෝග විශාල ප්‍රමාණයක් වාර්ෂිකව වනසත්ව හානියට ලක්වීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් බවත් ඇය පැවැසුවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සාකච්ඡා වට කීපයක් පැවති අතර මෙහිදී වගාකරුවන් හට ගිනි අවි ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව ත් මෙම ගිනි අවි ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් නීති විරෝධී කටයුතු සඳහා භාවිත නොවන ආකාරයෙන් ගොවීන් අතට පත් කිරීම සම්බන්ධයෙන් සැලසුම් කරමින් පවතින බව ත් ඒ අනුව එක් ප්‍රදේශයක සෑම වගාකරුවෙකුට ම ගිනි අවි ලබා දෙන්නේ ද එසේත් නොමැති නම් යම් කිසි තෝරාගත් කණ්ඩායමකට ගිනි අවි ලබා දෙන්නේ ද පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින බවත් ඇය සඳහන් කළා.

2025 වසර වනවිට පොල්ගෙඩි නිෂ්පාදනය මිලියන 3600ක් දක්වා හා 2030දී පොල් ගෙඩි නිෂ්පාදනය මිලියන 4000ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කොට ඇති බව සඳහන් කළ සභාපතිවරිය මේ වන විට අක්කර ලක්ෂ 11ක පොල් වගා කොට ඇති බව සඳහන් කළා.

වාර්ෂිකව පුද්ගලයෙක් පොල් ගෙඩි 116ක් පරිභෝජනය කරන බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය මේ දක්වා පොල් පැළ මිලියන 120ක් වගා කළ ද මේ වන විට ඇත්තේ පොල් ගස් මිලියන 60ක් බව ද මෙහිදී ප්‍රකාශ වූ අතර දීපව්‍යාප්ත පොල් වගා කිරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක බවද ප්‍රකාශ වුණා.

මහනුවර – කමල් සුරවීර