hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 27, පෙ.ව. 9:26



ඉන්දියාවේ ජාතික භූ විද්‍යා පර්යේෂණායතනයේ භූ විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇති ආකාරයට එරට හිමාචල් – උත්තරකාන්ත් ප්‍රදේශවලට රිච්ටර් මාපක 08ක තරම් ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම කොළඹ හා යාපනය ඇතුළු මෙරට නගර කිහිපයකට තදින් දැනීමේ හැකියාවක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවා.

මෙයට වසර දෙකකට පෙර ඉන්දියාවේ හිමාල කඳු වැටිය ආසන්නයේ දැනට පවසා ඇති ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 05ක භූකම්පනය කොළඹ නගරයට දැනුනු බවත් ඉන් බොහෝ දෙනා බිය වී ගොඩනැගිලි වලින් පිටතට පවා පැමිණි බව මහාචාර්යවරයා සඳහන් කළා.

ඒ අනුව රික්ටර් මාපක 08ක තරමේ ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් ඒ අනිවාර්යෙන්ම මෙරටට දැනෙනු ඇති බව ද එම තත්ත්වයෙන් මාපක 5කට වඩා සිය ගුණයකට අධික ප්‍රබලතාවය කින් යුක්තව යුක්ත වලින් මෙරටට අහිතකර ආකාරයෙන් බලපෑ හැකි බවද මහාචාර්ය වරයා පැවසුවා.

කෙසේ නමුත් භූ චලන සම්බන්ධයෙන් කරන පුරෝකථන ලොව මෙතෙක් සීයට සීයක් සාර්ථක වී නොමැති බවද මහාචාර්යවරයා සඳහන් කළා.

මේ අතර ඉන්දියාවේ භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවට බලපා හැකි බව ඊයේ (26) වනතෙක් ඉන්දියාව විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.

ලෝකයේ දැනට පවතින තාක්‍ෂණයට අනුව අහවල් දිනයේ අහවල් ස්ථානයක භූ කම්පනයක් සිදුවන බවට කල්වේලා ඇතිව ප්‍රකාශ කර නැති බවත්, තාක්‍ෂණයෙන් ඉහළ ජපානය, තුර්කිය හෝ වෙනත් රටවලටවත් භූ කම්පනයක් සිදුවීමට පෙර දින වකවානු ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළා.

භූ විද්‍යාහා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥවරියක් මේ පිළිබඳව කියා සිටියේ අපේ රටේ පිහිටීම අනුව රට තුළ ප්‍රබල භූ කම්පන සිදුවීමේ හැකියාව ඉතාම අඩු බවයි.

මෑත කාලයේ සිදුව තිබෙන භූ කම්පන දෙස බැලීමේදී එය රිච්ටර් මාපක තුනයි දශම පහකට අඩු බවත් එම භූ කම්පන ද පල්ලෙකැලේ, බුද්ධංගල, හක්මන සහ මහකනදරාව යන භූ කම්පන මානවල සටහන් වන බවත් පැවසූ ඇය ඒ අනුව කොළඹ කාර්යාලයේ සිට රටේ ඕනෑම තැනක සිදුවන භූ කම්පනයක් පිළිබඳ වාර්තා සකස් කර ගැනීමේ හැකියාව පවතින බවත් කියා සිටියා.

පෘතුගීසි පාලන සමයේ 1615 දී මෙරට ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ලේඛනවල සඳහන් කර ඇතත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහන්ව නැතැයි ද ඇය කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: