hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 12:35



ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මැන්ඩවුස්‘ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ගලාඒම නිසා මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවා.

මේ දිනවල රටපුරා ප්‍රදේශවල පවතින අඳුරු ස්වභාවය සහ මීදුම් ස්වභාවයට හේතුව මෙය බව ද ඔහු සඳහන් කළා.

ගම්පහ සහ කොළඹ ආදී දිස්ත්‍රික්කවලට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, වායු තත්ව මාපක දත්ත අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වායුගෝලීය අංශු ප්‍රමාණය ඒකක 200ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අංශු ප්‍රමාණය ඒකක  167 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රට පුරා සෑම ප්‍රදේශයකටම පාහේ මෙහි බලපෑම පවතින බව ද සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළා.

දැනට මෙරටට බලපා ඇති සුළි කුණාටුව හෙට (9) දිනය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත අතර, ඒ සමඟ ක්‍රමයෙන් මෙම දූවිලි තත්වය ද පහව යනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

මෙම දූවිලි අංශු ශරීරයට ඇතුළුවීමෙන් ශ්වසන රෝග ආදිය ඇතිවිය හැකි බැවින් මේ දිනවල එළිමහනේ ගැවසෙන විට මුහුණු ආවරණයක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු කියා සිටියා.

එමෙන්ම එළිමහනේ ගැවසීම අඩු කළ යුතු අතර, හැකිතාක් නිවෙස්වල දොර ජනෙල් වසා තැබීම ද වැදගත් බව ප්‍රේමසිරි මහතා පැවසුවා.