hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 9:01



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව ඊයේ දිනයේ රාත්‍රී 11.30 වනවිට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා රාත්‍රියේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

මේ අතර උතුරු පළාතේ නිරන්තරයෙන් වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර දිල්ලි නුවර අයහපත් වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ වායු දූෂණ මට්ටමට වඩා මේ වනවිට වායු දූෂණ මට්ටම විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

ඉන්දියාවේ වායු දූෂණය ඉහළයාමෙන් බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව ඊයේ දිනය වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක් වූ බවයි වාර්තා වන්නේ.

එහිදී විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටියේ විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා සිදුවිය හැකි බැවින් හැකිතාක් දුරට නිවෙස් තුළ රැඳීසිටින ලෙසටයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ වායු දූෂණය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, යාබද ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙලීමෙන් අනතුරුව පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීමයි.