hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 05, පෙ.ව. 8:19



සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතාට ලිපියක් යොමු කොට තිබෙනවා.

ඒ වරාය අධිකාරිය තුල සිදු වෙමින් පවතින හා සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින්.

පසුගිය දා කෝප් කමිටුව වෙත වරාය අධිකාරිය කැදවා තිබු අතර එහිදී ඉදිරිපත් කරන ලද බොහෝ කරුණු ඇත්ත තත්වය වසන් කරමින් ඉදිරිපත් කරන ලද කරුණු බවයි එම ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ.

මේ වන විට මහජනතාව විසින් ආණ්ඩුවට එල්ල කරන විරෝධය විවිධ රාජ්‍ය ආයතන වල වැඩ කරන සේවකයින් වෙත යොමු කිරිමේ උවමනාවක් කෝප් කමිටුවට කරුණු ඉදිරිපත් කළ ආයතන ප්‍රධානීන්ට පැවති බවට සාධාරණ සැකයක් පවතින බවයි එම සංගමය කෝප් කමිටු සභාපතිවරයාට දන්වා ඇත්තේ.

ඊට හේතු වූ කාරණා පිළිබදවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

එම ලිපිය පහතින්,

ගරු සභාපති,
චරිත හේරත් මැතිතුමා,
කෝප් කමිටුව,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ගරු සභාපතිතුමනි,

වරාය අධිකාරිය තුල සිදු වෙමින් පවතින හා සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටිම.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු කරන මහජන නියෝජිතයින් පිළිබඳව රටේම අප්‍රසාදයක් ගොඩ නැගී ඇතත් කෝප් කමිටුවේ ක්‍රියා කලාපය පිළිබඳව තවමත් ජනතාවට ප්‍රසාදයක් ඇත. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලයක් නැතත් අඩුම තරමින් රාජ්‍ය ව්‍යාපාර වල සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව මහජනයාට කරුණු දැනගැනීමට කෝප් කමිටුව මගින් සිදු කරන හෙළිදරව් නිසා ඉඩ පස්තාව ලැබී ඇත.

01. ඔබතුමාට පුර්වගාමීව කෝප් කමිටුවේ සභාපති තනතුර දරන ලද සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉටු කරන ලද කාර්යභාරය අගය කරන අතර, කෝප් කමිටු රැස්වීම් ජනතාවට සජීවීව වාර්තා කිරීමට ජනමාධ්‍යයට ඉඩකඩ ලබා දෙන ලද හිටපු කථානායක කරු ජයසුරිය මැතිතුමා මෙහිදී සිහිපත් කරමි.

02. පසුගිය දා කෝප් කමිටුව වෙත වරාය අධිකාරිය කැදවා තිබු අතර එහිදී ඉදිරිපත් කරන ලද බොහෝ කරුණු ඇත්ත තත්වය වසන් කරමින් ඉදිරිපත් කරන ලද කරුණු බව ඔබ තුමාගේ අවධානයට යොමු කරවමි.

03. මේ වන විට මහජනතාව විසින් ආණ්ඩුවට එල්ල කරන විරෝධය විවිධ රාජ්‍ය ආයතන වල වැඩ කරන සේවකයින් වෙත යොමු කිරිමේ උවමනාවක් කෝප් කමිටුවට කරුණු ඉදිරිපත් කළ ආයතන ප්‍රධානීන්ට පැවති බවට සාධාරණ සැකයක් අප තුල ඇත. ඊට හේතු වී ඇත්තේ

I පසුගිය කෝප් කමිටුව වෙත කරුණු ඉදිරිපත් කරන ලද වරාය පාලනාධිකාරිය 2021 වසර සඳහා වරාය සේවකයින්ගේ අතිකාල සඳහා රුපියල් මිලියන 5850/= ක මුදලක් වැයකර ඇති බවත්, එක් සේවකයෙක් දළ වශයෙන් රුපියල් පන්ලක්ෂ අසුපන් දහසක අතිකාල කර ඇති බවත්, මාසෙටම ඇත්තේ පැය 720 ක් බවත් සමහර සේවකයින් අතිකාල පැය 400 කට වඩා ලබා ගෙන ඇති බවත් ප්‍රකාශ විය.

II එම අනාවරනය මගින් අව්ව, වැස්ස, රෑ , දවල් ,පෝය, අවුරුදු නැතිව දවසේ පැය 24 ම අවුරුද්දේ 365 දවසේම රැකියාව කරන, රටට ඩොලර් ඉපයීමට ලේ, කඳුළු දහදිය වඟුරන, බොහෝ සේවකයින්ට කර ඇත්තේ නිගරුවකි. තෙල් පෝලින් වල, ගෑස් පෝලින් වල දුක් විදින ජනතාවගේ වෛරය වරාය සේවකයා වෙත යොමු කිරිමකි.

III වරාය සේවක අතිකාල වල ඇත්ත තත්වය කුමක්ද ? වරාය සේවා මුර සැකසී ඇත්තේ ජාත්‍යන්තර නෞකා සමාගම් වල සේවා අවශ්‍යතා සම්පුර්ණ වන ආකාරයටය. ඒ අනුව වරාය ඇතැම් සේවා මුර වලට අනුව පැය 24 ක් ගෙදර ඉන්න ලැබෙන්නේ මසකට දින දෙකකි. තවත් සේවා මුර ක්‍රමයකට අනුව පැය 24 ක් ගෙදර ඉන්න ලැබෙන්නේ මසකට දින 4 කි. රජයේ නිවාඩු දින, අවුරුදු, වරාය සේවයට අදාල නැත. දවසේ පැය 24 ම අවුරුද්දේ 365 දවසම වරාය සේවකයා වැඩ කල යුතුය. එසේ වැඩට ගෙන්වන සේවකයින්ට අතිකාල පැය 400 ක් හෝ 500 ක් ලැබෙන්නේ ඔවුන් කරන විශේෂ සේවය වෙනුවෙනි. එසේම වරාය සේවකයාගේ මූලික වැටුප අනෙකුත් සමගාමී ආයතන වලට සාපේක්ෂව පහල අගයක් ගනී. ඒනිසා සේවකයින් සිදුකරන අතිකාල පැය ප්‍රමාණය 400 ක් 500 ක් උවත් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය ආසාමන්‍ය එකක් නොවේ. නෞකා ආශ්‍රිතව කටයුතු කරන ඉතා සීමිත සේවක පිරිසක් එසේ අතිකාල කලත් නෞකා මෙහෙයුම් වලට වක්‍රකාරයෙන් සම්බන්ද සේවකයින් සිදු කරන අතිකාල පැය 300 ඉක්මවා ගොස් නැත. අතිකාල නොකරන හා අතිකාල නොලැබෙන පිරිසක්ද වරාය තුල ඇත. විධායක නිළධාරීන් ස්ලැබ් මගින් උපයා ගන්නා මුදල්ද මෙම ගණනය කිරීමට ඇතුලත් කල යුතුය.

IV අතිකාල පැය 600, 700 කරන දේශපාලන හිතවත්කම් සහිත, වරාය වෙනුවෙන් කිසිම වැඩක් නොකරන පින් පඩි කාරයින් සැලකිය යුතු පිරිසක් වරාය තුළ සිටිති. ඔවුන්ට එසේ කටයුතු කිරිමට අවස්ථාව ලබා දී ඇත්තේ වරාය තුළ සිටින දූෂිත නිලධාරීන් විසිනි.

V කෝප් කමිටුව විසින් සොරුන් පිළිබඳව හෙලි දරව් කල යුතුමය. එහෙත් රට වෙනුවෙන් වැඩ කරන සේවකයින්ගේ චිත්ත ධෛර්ය ඇද දමන, ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානි වන පරිදි වැරදි කරුණු කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලද නිලධාරීන් පිළිබඳව විධිමත් සොයා බැලීමක් කරන ලෙස ඔබතුමාගෙන් මා ඉල්ලා සිටිමි. කෝප් කමිටුවට වරාය කැදවීමෙන් පසුව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් තුමා විසින් MPS/IA/SLPA/OT යටතේ කෝප් කමිටුවේදී සාකච්ජා වු බවට සඳහන් කරමින් එනම් මසකට අතිකාල පැය 240 කට වඩා ගෙවිම් කර ඇති සේවකයින්ගේ වාර්තාවක් අමාත්‍යවරයාගේ උපදෙස් අනුව කැදවා ඇත. එම කැදවීමේ අරමුණ කුමක්ද යන්න හරිහැටි පැහැදිලි නැතත් එමගින් වැඩ කරන වරාය සේවකයාට අගතියක් වීමට ඉඩ ඇති බව අපගේ විශ්වාසයයි. එබැවින් එම කටයුත්ත නතර කිරිමට උපදෙස් ලබා දෙන ලෙසත් තොරතුරු අවශ්‍ය වන්නේ නම් මුදල් කොට්ඨාශය තුල ඒවා පවතින බව ඔබතුමාගේ දැන ගැනීම සඳහා පෙන්වා දෙනු කැමැත්තෙමි.VI කෝප් කමිටුව හමුවේ කරුණු දක්වන ලද වරාය නිලධාරීන් ප්‍රකාශ කරනු ලැබුවේ 2021 වර්ෂයේ දී වරාය සේවකයින්ගේ ආහාර වේලට කජු ලබා දීම සඳහා රුපියල් මිලියන 47ක මුදලක් වැය කර ඇති බවයි.

VII කෝප් කමිටුවට කරුණු දක්වන ලද වරාය නිලධාරින්, කජු සඳහා වැය කල සත්‍ය මිල ගනන් වැරදියට ඉදිරිපත් කිරිම නිසා ඇදුමක් ඇදගෙන පාරෙ බැහැල යාමට බැරි තත්වයට වරාය සේවකයා පත් කර ඇත.

VIII ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සේවකයින් 9990 ක් අතරින් ආහාර ලබා ගන්නා සේවකයින්ගේ දිවා හා රාත්‍රී ආහාර සඳහා රුපියල් මිළියන 788 ක මුදලක් 2021 වර්ෂයේදී වැය කර ඇත. 2021 වර්ෂයේදී අහාර වේල් 2,617,089 ප්‍රමාණයක් සකස් කර ඇත. ඒ අනුව එක් කෑම වේලක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 332 ක පමණ මුදලක් වැය කර ඇත. 2021 වර්ෂයේ සමස්ත ආහාර වේල් වලින් 15% ක් කජු එක් කර ඇත.

IX වරාය සේවකයා ආහාර වේලට ඇතුලත් කල යුතු බවට කිසිම ආහාර වර්ගයක් නම් කර ඉල්ලුවේ නැත. වරාය සේවකයා ඉල්ලා සිටියේ පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක් තමන්ට ලබා දෙන ලෙසයි. හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වරාය ඇමති විමට පෙර වරාය සේවක කෑම වේලට ඉදහිට කජු එක්කර තිබුණි. නමුත් හිටපු ආමත්‍යවරයා වරායට පැමිණිමත් සමඟ වරාය සේවකයින්ගේ කෑම වේල් වැඩි ප්‍රමාණයක කජු එක්කර තිබුණි.

X පසුගිය වසර පුරාවම වරායට කජු දමා ඇත්තේ Lefna Ceylon Tea ආයතනය විසිනි. එක් වරක් පමණක් දිවැසි නැමති ආයතනයකට ටෙන්ඩරය ගිය විට වරාය පාලකයින් එම ටෙන්ඩරය අවලංගු කර නැවත ටෙන්ඩර් කැදවා ඉහත ආයතනයට එම ටෙන්ඩරය ලබා දී ඇත.

XI වරාය මුළුතැන් ගෙය තුල කටයුතු කරන නිලධාරීන් මාරු කරන්නේම නැති තරම්ය. මාරු කලත් මාස කිහිපයක් තුල ඔවුන් නැවතත් මුළුතැන් ගෙට පැමිණේ. වරාය මුළුතැන්ගෙය ඇතැම් නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ ආදායම් මාර්ගයක් වී ඇත. වංචා දූෂණ පිරි හොර ගුහාවකි. වරාය මිලදී ගන්නා බොහෝ මිලදී ගැනීම් වල දී වංචා දූෂණ සිදු වේ. ඒවා වසා ගැනීමට වරාය සේවකයින් පිළිබඳව ජනතාව වෛරයෙන් බලන තත්වයට පත් කල නිලධාරීන් පිළිබඳව සොයා බලන ලෙසත් වරාය තුල සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව සොයා බලන ලෙසත් ඔබතුමාගෙන් මා ඉල්ලා සිටිමි.

04. ඉහත කරුණු වලට අමතරව කෝප් කමිටුව හමුවේ යම් පමණකට කථා කරන ලද එහෙත් වරාය පාලකයින් ඇත්ත කරුණු වසන් කරන ලද කරුනු කිහිපයක් පිලිබදවත් කෝප් කමිටුවේ අවධානයට ලක් නොවුනු කරුණු කිහිපයක් පිළිබඳවත් ඔබ තුමාගේ අවධානය යොමු කිරිමට මා කැමැත්තෙමි.

I නැගෙනහිර බහාලු පර්යන්තය විකිණිමට ආණ්ඩුව ගනු ලැබු උත්සහාය පරාජය කර එය වරාය අධිකාරිය සතු කර මේ වන විට මාස 16 කි. සටන අවසන් කරනු ලැබුවේ පාලකයින් හා වෘත්තීය සමිතීන් අතර නැගෙනහිර පර්යන්තය ගොඩ නැගීමට අදාලව ප්‍රායෝගික වැඩපිළිවෙලකට එකඟතාවයක් ඇති කර ගනිමිනි. එම එකඟතාවය පසෙකට කර කොමිස් ලබා ගැනීමේ පරමාර්තය සහිතව වෘත්තීය සමිති එකඟ වු මුල් සැලැස්ම සම්පුර්ණයෙන්ම වෙනස් කර කිහිප දෙනෙකු එක් වී අධික වියදම් යන නව සැලැස්මක් මත කටයුතු කිරිමට යාම හේතුවෙන් නැගෙනහිර බහාලු පර්යන්තයට උපකරණ ගෙන ඒම අද ප්‍රබල ගැටළුවක් වී ඇත. ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

II නැගෙනහිර බහාලු පර්යන්තය වරාය අධිකාරිය සතු කරන මොහොතේ දකුණු කොළඹ වරායේ බටහිර කොටස පුද්ගලික සමාගමකට විකිණිමට වෘත්තීය සමිති වල විරෝධයක් නැති බවට එකඟතාවයක් ඇති විය. අප වෘත්තීය සමිති ඊට අත්සන් තැබුවේ නැත. මේ වන විට බටහිර කොටස ඉන්දියාවේ අදානි සමාගමට විකුණා වසරකට වැඩි කාලයක් ගත වේ. මේ දක්වා එහි පස් පිඩැල්ලක් හෝ කපා නැත. අපට පෙනී යන ආකාරයට කොළඹ වරාය පදනම් කර ගනිමින් පවතින ප්‍රති අපනයන වෙළඳපොළ ඉන්දියාවට ඇද ගැනීම සඳහා අදානි සමාගම ඉන්දියාව තුල වේගයෙන් කටයුතු කරමින් ඇත. අදානි සමාගමට විකුණා ඇති කොළඹ දකුණ වරායේ බටහිර කොටසට අදාල ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්නම් බටහිර කොටස යලි පවරා ගැනීම සඳහා සොයා බලා අවශ්‍ය කටයුතු යොදන ලෙස ඉල්ලා සිටිමි.

III නැගෙනහිර බහාලු පර්යන්තයේ වැඩ නිම කර තිබු කොටස සඳහා ග්‍රැන්ටි දොබකර ඇතුළු උපකරණ ගෙන්වීමට 2014 වර්ෂයේ සිටි පාලනාධිකාරිය කටයුතු කර තිබුනි. 2015 යහපාලන ආණ්ඩුව පැමිණි පසුව එම ඇනවුම තුල වංචා සිදු වි ඇති බව පවසා අවලංගු කරන ලදී. වසර 7 ක් පුරා එම ඇනවුම් අවලංගු කිරිම නිසා හෝ නැවත ඇනවුම් ලබා නොදීම නිසා වරායට රටට සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන ගනනකි. එම පාඩුව සිදු කල සියලු චුදිතයින් අදටත් නිදැල්ලේ සිටිති. මේ පිළිබඳ කරුණු සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

IV ජයබහාලු v අදියර සඳහා මේ වන විට මුල් ගල් තබා, සිවිල් ඉංජිනේරුමය කටයුතු සිදු කරමින් පවතී. එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ සාගල රත්නායක අමාත්‍යවරයා විසිනි. පර්යන්තය සෑදීම පසෙකට කර ග්‍රැන්ටි දොබකර ඇනවුම් කරන ලද්දේ ඔහු විසිනි. සත්‍ය ලෙසම ග්‍රැන්ටි දොබකර ඇනවුම් කිරීමට අවශ්‍ය ව තිබුනේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙනි. නමුත් ඔහු එය සිදු කලේ නැත. ජයබහාලු v අදියර ඉදිකිරිමෙන් වරායට ආර්ථික වශයෙන් කිසිදු වාසියක් නැත. මන්ද ජයබහාලු පර්යන්තයේ ගැඹුර 14.5 m කි. එම ගැඹුර ඊට වඩා වැඩි කල නොහැක. විශාල නෞකා ජයබහාලු පර්යන්තයට පැමිණිමේ හැකියාවක් නැත. එවැනි පසුබිමක ජයබහාලු v අදියර කොමිස් සඳහා ඉදිකරන ලද්දකි. සාගල ඇමති තුමාට ඉදිකිරිමට නොහැකි වු ජයබහාලු v අදියර රෝහිත ඇමතිතුමා ඇමෙරිකානු ඩොලර් මිලියන 32 යොදා ඉදිකිරිම අරඹා ඇත. මෙම ව්‍යාපෘතියේ ඵලදායීතාවය ගැන කරුණු විමසා බලන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
V වරායට දෙවැනි වැඩිම ආදායම් උපයන මාර්ගය සේවා සැපයුම් මගින් සිදුවේ. එම සේවාවන් හා වරාය තුල අතිශයින්ම සංවේදී ස්ථානයක පිහිටි අක්කර 13 ක ඉඩමත් චීනයේ CICT සමාගමට කුණු කොල්ලයට විකුණා දැමීමට වර්තමාන සභාපතිවරයා හා හිටපු ඇමතිතුමා පියවර ගනු ලැබිනි. වෘත්තීය සමිති ලෙස අපගේ හා වරායට ආදරය කරන නිලධාරීන්ගේ මැදිහත් වීම නිසා එම කටයුතු මේ දක්වා ප්‍රමාද කර ඇත. අඩුම තරමින් රජයේ තක්සේරු වාර්තා හෝ ලබා ගැනීමෙන් තොරව විකිණිමට උත්සහ කරන ලද මෙම ඉඩම සම්බන්ධයෙන් පසුව රජයේ තක්සේරු කරුගේ තක්සේරු වාර්තාවක් කැදවීමට වරායට සිදු විය. එම වාර්තාව මේ වන විට ලැබී ඇත. එම තක්සේරුවට අනුව ඉඩමේ නව තක්සේරුව කලින් සිදු කරන ලද බොරු තක්සේරුව මෙන් 1200% ක ට වඩා ඉහළ අගයක් ගෙන ඇත. මහ දවල් සිදු කිරීමට ගිය මෙම වංචාව පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකරන ලෙස ඉල්ලා සිටිමි.

VI පසුගිය #කොවිඩ් සමය තුල වරාය අධිකාරිය වරාය සේවකයින් වෙනුවෙන් මාක්ස් මිලදී ගෙන සේවකයින්ට නොමිලේ ලබා දෙන ලදී. ඒ අනුව ලේයර් හතරක සර්ජිකල් මාක්ස් එකක් මිලදී ගනු ලැබුවේ රුපියල් 40 කටය. මාසයකට එම මාක්ස් ලක්ෂයක් ලක්ෂ එකහමාරක් අතර ප්‍රමාණයක් වරාය මිලදී ගනු ලැබිණි. එම මාක්ස් එකම මා කාර්ගීල්ස් ආයතනයෙන් එකක් රුපියල් 20 බැගින් මිලදී ගනු ලැබිණි. මා මේ පිළිබඳ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට හා විගනකාධිපති දෙපාර්තමේන්තුවට පැමිනිලි කර ඇත. සිදුව ඇති වංචාව රුපියල් කෝටි ගණනකි. එම වංචාවට අදාල පරික්ෂණ ඉදිරියට සිදුවන්නේ ද යන ගැටළුව මා හට ඇත. ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

VII නෞකාවන් කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා නෞකා නියෝජිතයින් විසින් නෞකා මෙහෙය වීමට සම්බන්ධ සේවකයින්ට ගොඩබාන පටවන බහලුවක් සඳහා ඩොලර් 2 ක් ලබා දීමට 2002 වර්ෂයේ දී එකඟතාවයක් ඇති කරගෙන ඇත. එම මුදල් වලට සිදු වී ඇති දේ අද වන විටත් අභිරහසකි. සේවකයින්ට දිමනා ලෙස සොච්චන් මුදලක් ලබා දී නිලධාරීන් විශාල මුදලක් සාක්කුවේ දමා ගෙන ඇත. වරාය පාලකයින් මේ වන විට පවසන්නේ ඩොලර් 2 ක මුදල වරායට නොලැබෙන බවයි. දිරි දීමනා ක්‍රමය තුල සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව සොයා බලන ලෙසත් එකඟ වු පරිදි ඩොලර් 2 ක මුදල නෞකා නියෝජිතයින් ලබා නොදෙන්නේ නම් එම මුදල අය කර රටේ ඩොලර් ගැටලුවට යම් හෝ විසදුමක් ලබා ගැනීමට මැදිහත් වන ලෙසත් ඉල්ලා සිටිමි.

VIII වත්මන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යංශය භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් අංශයට කුලී පදනම මත ටග් යාත්‍රා දෙකක් ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බවට අප වෙත තොරතුරු වාර්තා වේ. මේ වන විටත් කුලි පදනමින් ටග් යාත්‍රා තුනක් වරායට ලබා ගෙන ඇති අතර එක් යාත්‍රාවකට දිනකට ඩොලර් 5000 කට ආසන්න මුදලක් ගෙවිය යුතු වේ. ඊට අමතරව එම යාත්‍රා සඳහා අවශ්‍ය ඩිසල් , ලිහිසි තෙල් , වතුර වරාය අධිකාරිය තුලින් ලබා දිය යුතු බවට වාර්තා වේ. එවැනි පසුබිමක් තුල මේ මොහොතේ හදිසි සේවා අවශ්‍යතාවයන් නොමැතිව තිබියදී මේ ආකාරයට තවත් ටග් යාත්‍රා දෙකක් කුලියට ලබා ගැනීම බරපතල ගැටළුවකි. මෙම ගනුදෙනුව වහාම නතර කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

IX ආර්ථික වශයෙන් රට බංකොලොත් වී ඇති මොහොතක ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් විගණන හා මාධ්‍ය කොට්ඨාශ වරාය භූමියෙන් ඉවත් කර ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම සඳහා එහි දෙවැනි හා තෙවැනි මහල් කෝටි ගණනක් මුදල් වැය කර කුලියට හෝ බද්දට ලබා ගෙන ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පුර්ණ කිරිමට මේ දිනවල කටයුතු කරමින් පවතී. එම වෙනස්කිරීම් කිසි සේත් වරායට අවශ්‍ය කටයුත්තක් නොවන බැවින් එම ක්‍රියා මාර්ග වහාම අත්හිටු වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

X වරාය තුළ ක්‍රියාත්මක බඳවා ගැනීමේ පටිපාටිය තුළ ගැටළු ගණනාවක් පවතී. වරායට අවශ්‍ය තනතුරු ගණනාවක් අහෝසි කර ඇත. අත්‍යවශ්‍ය තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කර නැත. ඇතැම් තනතුරු වලට අවශ්‍ය සේවක සංඛ්‍යාව නිවැරදිව ගණනය නොකිරීම නිසා වසර 10, 15 පුරා කිසිදු දීමනාවක් නොලබා පහල තනතුරු වල සේවකයින් ඉහල තනතුරු වල වැඩ බැලීම සිදු කරනු ලබයි. ඇතැම් තනතුරු වල සේවකයින් සියල්ල විශ්‍රාම යනතුරු එම තනතුරු පිරවිමට කටයුතු කර නැත. විධිමත් ලෙස පුහුණු කිරීමේ සැලැස්මක් නැත. අවිධිමත් ලෙස දේශපාලන උවමනාවන් සඳහා තනතුරු ලබා දීමට කටයුතු කර ඇත. බොරු පොරොන්දු දී මෑන්පවර් පදනමින් වරායට සේවකයින් බඳවා ගෙන ඇත. ඔවුන්ට ලබා දීමට එකඟ වු වැටුප් මංකොල්ල කා ඇත. වරායට මෑන් පවර් සේවකයින් බඳවා ගැනීම පිටුපස දේශපාලන සම්බන්ධතා ඇති බවට බොහෝ තොරතුරු ඇත. එම කටයුතු සිදු කිරීම සඳහා වරාය සේවකයකු ඔහුගේ රාජකාරියෙන් ඉවත් කර මෙම කටයුත්තට යොදවා ඇත. වරාය වෛද්‍ය මධ්‍යස්ථානයට අනුමත සේවක සංඛ්‍යාවෙන් පිට සේවකයින් 17 දෙනෙකු කොන්ත්‍රාත් පදනම යටතේ මෙසේ බඳවා ගෙන ඇත. මේවා පිළිබඳ සොයා බලන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
XI ආමාත්‍ය අංශ ලේකම් වරු දෙදෙනෙක් අවස්ථා තුනකදීත්, වරාය විධායක නිලධාරීන් විශාල පිරිසකුත්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා පිළිගත් වෘත්තීය සමිති බොහෝ ප්‍රමාණයකුත් විසින් වරාය සංවිධානය ව්‍යුහය වෙනස් නොකරන ලෙස ඉල්ලා තිබියදීත් වරාය අධ්‍යක්ෂක මණ්ඩලය එම ඉල්ලීම නොතකා වරාය සභාපතිවරයාට සියලු බලතල ලැබෙන පරිදි වරාය සංවිධාන ව්‍යුහය අනීතික ලෙස වෙනස් කිරීම පිළිබඳව සොයා බලන ලෙස මා ඉල්ලා සිටිමි.

XII වරාය මුදල් අධ්‍යක්ෂක තුමිය අනිවාර්ය නිවාඩු යවා ඇත. ඇය එසේ අනිවාර්ය නිවාඩු යැව්වේ ඇයි ද යන්න සොයා බලන ලෙස ඉල්ලා සිටිමි. (ඇය අනිවාර්ය නිවාඩු යැවිමට හේතුව සභාපතිවරයා විසින් අනීතික ලෙස කරන ලද ඉල්ලීමක් ඉටු කිරීම ප්‍රතික්ශේප කිරිම බව වාර්තා වේ.)

XIII පසුගිය වසරේ වරාය තුල මිලදී ගැනිමේ නිලධාරී තනතුරට විභාගයක් පැවැත් වු අතර එම විභාගයේ දී එක් සේවකයෙකු විභාගය පැන්සලින් ලියා අතටම අසුවෙන ලදී. ඒ පිළිබද විභාග භාර නිලධාරී ලොග් සටහන් තබා ඉහලට වාර්තා කර ඇතත් එම සේවකයාට ඇති දේශපාලන හයිය හේතුවෙන් ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැත. (මෙම සිදුවීමට අදාල සේවකයා විභාගයෙන් සමත් වීමෙන් පසුව පත් වීම නොදීමට ක්‍රියා කල බවට සදහන් කරමින් මානව සම්පත් කොට්ඨාශයේ ඉහළ නිලධාරිනියක් මේ වන විට ස්ථාන මාරු කිරීමට ලක් කර ඇත.) මේ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටීම.

ගරු සභාපතිතුමනි,

ඔබතුමා කෝප් කමිටුව තුල ඉටු කරන කාර්යභාරය අප අගයමු. එහෙත් කෝප් කමිටුව වෙත ආයතනවල නිලධාරින් තොරතුරු සපයන්නේ කෝප් කමිටුව තුල සාකච්ජා කල යුතු අත්‍යවශ්‍ය වැදගත් කරුණු ද යන්න අප හමුවේ ඇති ගැටලුවකි. මෙම ලිපිය ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අප තුල පැන නැගුණු එම ගැටලුව ඔබ තුමා වෙත ඉදිරිපත් කර රට වෙනුවෙන් යම් මැදිහත්වීමක් ලබා ගැනීම සඳහාත්, පසුගිය කෝප් කමිටුවේදී වරාය සේවකයින් සම්බන්ධයෙන් මතු කරන ලද කරුණු නිසා වරාය සේවකයාට සිදු වු අසාධාරණය පිළිබඳව ඔබ තුමා දැනුවත් කිරීම සඳහාය.

එසේම පවතින නෛතික තත්වය වෙනස් කර හෝ අප මතු කරන කරුණු පිළිබඳව කෝප් කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලබා දෙන ලෙස මා ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි.

මෙයට,
නිරෝෂන් ගොරකානගේ
ප්‍රධාන ලේකම්
සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: