hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 04, පෙ.ව. 11:07



මෙරට උසස් පෙළ සහිත පාසල් 2952න්  1941ක විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව නොමැති බවත් එම අවස්ථාව ඇත්තේ පාසල් 1011ක පමණක් බවත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කෝප් කමිටුවේදී පැවැසුවා.

කෝප් කමිටු සභාපති මහාචාර්ය, රංජිත්  බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ මේ බව හෙළි වුණා.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩි කිරීම සහ රැකියා වෙළෙඳපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

 2021 වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිවන පිරිසෙන් 26%ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරූ පිරිසක් බවත් විද්‍යා විෂයයන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන පිරිසට සාපේක්ෂව අඩු අගයක් පෙන්නුම් කරන බවත් මෙහිදී  හෙළි වී තිබෙනවා.

ලොව දියුණු රටවල විද්‍යා හා තාක්ෂණික විෂයන්ගෙන් සරසවි වරම් ලබන පිරිස වැඩි බවත්  මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා පියවර ගත යුතු බවත් කමිටුව අවධාරණය කළා.

එනම්, උසස් පෙළ සහිත පාසල්වලින් 65.75% ප්‍රමාණයක විද්‍යා විෂයන් නොමැතිවීම ගැටලුවක් බවත් මෙහිදී සාකච්ඡා වුණා.

STEM අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මේ සඳහා විසදුම් සෙවීම ආරම්භ කොට ඇති අතර මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවැසුවා.

මේ සඳහා කඩිනමින් මැදිහත් වී උසස් අධ්‍යාපනයේදී විද්‍යා හා තාක්ෂණික අංශ‍ය සඳහා වැඩි සිසුන් ප්‍රමාණයක් යැවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නා.

නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම නිසා ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම ඇතුළු කොමිෂන් සභාවේ වැඩපිළිවෙළේ අගය කෝප් කමිටුව විසින් ඇගයීමට ලක් කරන ලදී.

 මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කළ යුතු බවත් විශේෂයෙන්  ජාත්‍යන්තර සිසුන් මෙරට විශ්වවිද්‍යාලවලට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ලෙසද කමිටුව විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා.

වසරකට රු. 90,000ක මුදලට විවෘත  විශ්වවිද්‍යාලය මඟින් මෘදුකාංග  ඉන්ජිනේරු උපාධි පාඨමාලාවක් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක රු.මිලියන 2-3ක් පමණ වටිනාකමක් සහිත මෙම උපාධිය රු. ලක්ෂ 3කට වඩා අඩු මුදලකට හැදෑරිය හැකි බවත් ‍කොමිෂන් සභා සභාපතිවරයා පෙන්වා දුන්නා.

එබැවින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටු සාමාජිකයෝ කොමිෂන් සභාවට මෙහිදී උපදෙස් දුන්නා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල ඉවත්කිරීම කිරීම වෙනුවට වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්ව නිශ්චය (Quality Assurance) සඳහා නව පනතක් මඟින් වෙනම ආයතනයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව පිළිබඳවද අවධානය යොමු වුණා.

කමිටුව පෙන්වා දුන්නේ ඒ සඳහා බලය    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටම හිමි වීම වඩා යෝග්‍ය බවයි. ‍

කොමිෂන් සභාවට මේ සඳහා බලතල හිමිවිය යුත්තේ ඇයිද යන්න සවිස්තරාත්මකව කමිටුවට මාසයක් ඇතුළත දැනුම් දෙන ලෙස කමිටුව විසින් නිර්දේශ කළ අතර මේ පිළිබඳව මැදිහත් වීමට කෝප් කමිටුව සූදානම් බවද කෝප් සභාපතිවරයා  පැවැසුවා.