hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 21, ප.ව. 1:13



සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තුළ 2016 වර්ෂයෙන් පසුව කිසිදු මුල්‍ය ප්‍රකාශන වාර්තාවක් සකස්කොට නොමැති බව කෝප් කමිටුවේ දී අනාවරණය වුණා.

මේ පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2015 සහ 2016 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් ‍පෙරේදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

දත්ත මැකී ගිහින්

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ පරිගණක මෘදුකාංග ගැටලුවක් හේතුවෙන් 2017, 2018, 2019, වර්ෂවලට අදාළ දත්ත මැකී ගොස් ඇති බවයි.

මේ නිසා මූල්‍ය ප්‍රකාශන පිළිබඳ තොරතුරු නොමැති බව ද ඔවුන් හෙළි කළා.

එහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ එය නිදහසට කාරණාවක් නොවන බවයි.

මෙම දත්ත අමතර ස්ථානයක ගබඩා කොට තැබීම කළ යුතු බවත් එහිදී කෝප් කමිටු සභාපතිවරයා අවධාරණය කළා.

වගකීම කාගේද?

එසේම මේ පිළිබඳ වගකීම දරන පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව ද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කළා.

තවද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගිය බව සඳහන් කළ ද මෙහි යම් ගැටලුවක් පවතින බවට සාධාරණ සැකයක් මතුවන බවද හෙතෙම කියා සිටියා.

එබැවින් හැකි ඉක්මනින් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් ගොනු කරන ලෙස කෝප් කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

විශේෂයෙන්ම මෙම මූල්‍ය වාර්තා පිළිබඳ තොරතුරු සඳහන් නොවන බැවින් 2016 වර්ෂයේ සිට සිදු වී ඇති යම් යම් මූල්‍ය කටයුතු පිළිබඳ කෝප් කමිටුවේදී නිවැරදිව සාකච්ඡා කිරීමට නොහැකි බවද මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නා.

ණය අරන් කරපු දේ

එසේම 2018 වර්ෂයේ දී ලංකා බැංකුවෙන් ලබාගෙන තිබූ රුපියල් මිලියන 500 ක ණය මුදල් වියදම් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

මේ අනුව අනාවරණය වූයේ මෙම ණය මුදලෙන් වැඩි ප්‍රමාණයක් සේවක වැටුප් ගෙවීම සඳහා වියදම් කොට ඇති බවයි.

එසේම මීට පෙර ලංකා බැංකුවෙන් ලබාගත් ණය මුදලක් ගෙවීමද මෙම ණය මුදල් මඟින් සිදුකර ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

ණය ගෙවීම යළි අරඹන දිනය

එසේම මෙම ණය මුදල් ගෙවීම 2023 වර්ෂයේ සිට නැවත ආරම්භ කළ යුතුයි.

නමුත් සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන් මෙම මුදල් ගෙවීම 2023 වර්ෂයේ සිට ආරම්භ කළ යුතු බව නොදැනුවත් බවත් මෙහිදී අනාවරණය වුණා.

විශේෂයෙන්ම මෙහිදී සඳහන් වූ තවත් කරුණක් වූයේ මෙම සංස්ථාව සතුව ස්ථිර වෘත්තීය තනතුරක් ලෙස සාමාන්‍යාධිකාරීවරයාගේ තනතුර පමණක් පවතින බවයි.

අනෙකුත් තනතුරු කොන්ත්‍රාත් පදනම මත පිහිටුවා ඇති බවත් මෙහිදී අනාවරණ වුණා.

ලොක්කෙක් ඉල්ලා අස්වෙලා

එබැවින් මෙම සංස්ථාවේ සේවය කරන මූල්‍ය අධ්‍යක්ෂවරිය මේ වන විටත් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කොට ඇති බවත් මෙහිදී හෙළි වුණා.

නමුත් මෙම සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවීම පෙර දිනකදී දන්වා තිබූ බැවින් කෝප් කමිටු රැස්වීමට සහභාගීවීම සඳහා පමණක් ඇය තවමත් සේවයේ සිටින බවත් කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

එබැවින් ඇය මෙම රැකියාවෙන් ඉවත් වුවද මෙම සංස්ථාවේ පවතින මූල්‍ය ප්‍රශ්න පිළිබඳ වඩාත් හොදින් ඇය දැනුවත් බැවින් වෙනත් රැකියාවකට යාම සඳහා ඇයට අවසර ලබා දුන්නද ඇය බාහිර පුද්ගලයෙක් ලෙස සම්බන්ධකරගෙන ඇයගේ සහය යටතේ මෙම මූල්‍ය ප්‍රකාශන විධිමත්ව සකස් කරන ලෙසත් කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළා.

සභාපතිගේ ඉල්ලා අස්වීම වලංගු නෑ

එසේම සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා පසුගිය අප්‍රේල් 18 දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

නමුත් මේ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අමාත්‍යාංශ අනුමැතිය තවම ලැබී නැති බැවින් ඔහුගේ ඉවත්වීම තවමත් නීත්‍යානුකූල නැති බවත් එබැවින් අප්‍රේල් 21 දින ඔහු කෝප් කමිටුවට කැඳවීමට නිර්දේශ කරන බවද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

තවද 2017 වර්ෂයේදී ගොඩනැගිල්ලක සිදුකරන ලද නවීකරණ කටයුත්තක් හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පැවති ලිපිගොනු අස්ථානගතවී ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

මේ අනුව මාස 3ක් ඇතුළත 2017,2018,2019 වර්ෂවලට අදාළ මූල්‍ය වාර්තා සකස්කරන ලෙස සහ ව්‍යාපාර සැලැස්ම සකස්කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් වැඩිදුරටත් නිර්දේශ කළා.