hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 25, ප.ව. 7:56



මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව හිටපු බස්නායක නිළමේවරයෙකු වන සුදන්ත සේනානායක මහතා විසින් පවරා තිබූ නඩුවක් නිශ්ප්‍රභා කරමින් නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදීප් නිලංග දෑල මහතාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව අද (25) මහනුවර මහාධිකරණ අංක 01දී මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව සුදන්ත සේනානායක මහතා විසින් අදාළ මුදල අධිකරණයේ දී දියවඩන නිළමේවරයා වෙත ලබා දීමට පියවර ගත්තා.

වර්ෂ 2012දී සුදන්ත සේනානයක මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් කර නොමැති බවට චෝදනා කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබුණා.

එම නඩුව විභාගයට ගැනීමට තිබිය දී දියවඩන නිළමේවරයා විසින් ඊට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව මහාධිකරණ විනිසුවරුවරයා නඩුව නිශ්ප්‍රභා කරනු ලැබුවා.

සුදන්ත සේනානායක මහතා කාර්තු හතකරට අදාළව ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකළ බව කියමින් අදාළ නඩුකර ගොනුකර තිබූ බැවින් එක් නඩුවකට රුපියල් 125000 බැගින් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කරුට නියෝග කළා.

එම නියෝගය එරෙහිව අභියාචනා අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට සුදන්ත සේනානායක මහතා කටයුතු කර තිබූ අතර මහාධිකරණය මගින් ලබාදී තීන්දුව ඒ ආකාරයෙන්ම එහිදී ද තහවුරු කර තිබෙනවා.

ඊට එරෙහිව සුදන්ත සේනානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර එහි දී අභියාචනාධිකරණයේ තීන්දුව වෙනස් කරමින් එක් නඩුකරයක් සඳහා රුපියල් 25000 බැගින් රුපියල් ලක්ෂයක් මුදලක් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා.

අදාළ තීන්දුව ප්රකාශයට පත් කිරීම ඊයේ (25) මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් සිදු කරනු ලැබුවා.

ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිළාමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් සමන් තන්තිරිගේ මහතාද සුදන්ත සේනානායක මහතා වෙනුවෙන් මතීෂ සෙනෙවිරත්න මහතාද පෙනී සිටියා.                                          

පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ දියවඩන නිලමේවරයා කියා සිටියේ එකම සුළු පිරිසක් විසින් එකම චෝදනා විවිධාකාරයෙන් නගමින් තමා අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළද එම උත්සාහය සාර්ථක නොවූ බවයි.

සුදන්ත සේනානායක මහතා කියා සිටියේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් තමා මෙම නඩුව ගොනු කළ බවයි.

මහනුවර – කමල් සුරවීර