hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 10:40



වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු පිරිස ස්ථාන මාරු කිරීමේ ක්‍රියාව අධිකරණය විසින් තරයේ හෙළා දකින බව ආණමඩුව මහේස්ත්‍රාත් නිරෝශා පටබැඳිගේ පැවසුවා.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස පැවසූයේ පසුගිය 22 දා නවගත්තේගම  පොලිස් කොස්කොස්තාපල්වරයෙකුට පහරදී  පැහැරගෙන ගොස් ආනමඩුව ආලකුලම ප්‍රදේශයේ කනත්තක් අසල දමා යාමේ සිද්ධිය පිළිබඳ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදීයි.

පොලිස් කොස්තාපල්වරයාට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීමට නවගත්තේගම පොලිසිය කටයුතු කර තිබුණා.

එහෙත් සිද්ධිය සමතකයට පත් නොකිරීම පිළිබඳව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ආනමඩුව පොලිස් අධිකාරී සහ ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කර තිබුණා.

මෙම ස්ථාන මාරු කිරීම අධිකරණය හෙළා දකින බව කී මහේස්ත්‍රාත්වරිය පොලිස් නීති කොට්ඨාසය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව ද පැවසුවා.

පොලිසිට අපක්ෂපාතීව කටයුතු කරන ලෙස ද පවසා සිටි මහේස්ත්‍රාත්වරිය ස්ථානාධිපති ආණමඩුව හා පොලිස් අධිකාරි ආණමඩුව විසින් කර තිබෙන ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණය අගය කරන බවද  පැවසුවා.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පස් දෙනෙකු ස්ථාන මාරු කළ බවට පොලිස් නීති කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දීමක් සිදු කර තිබෙන බවත් එම ක්‍රියාව ආණමඩුව ස්ථානාධිපති සිදු කළ  ක්‍රියාවට ප්‍රතිරෝධය දැක්වීමක් බවත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පවසා සිටියා.

එම ස්ථාන මාරුවීම් ක්‍රියාව අධිකරණය විසින් තරයේ හෙළා දකින බවත් නැවත එම ක්‍රියාව නිවැරදි කරතැයි අධිකරණය බලාපොරොත්තු වන බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවා.

පොලිසිය විසින් දැනට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන 35374/2023A  දරන බී වාර්තාව ඉවත් කොට ගෙන නැවත සංශෝධිත බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලිස් නීති කොට්ඨාසය සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා.