hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 20, පෙ.ව. 5:34



ගාලුමුවදොර සාමකාමී අරගලයට පහර දුන් සිද්ධිය සමබන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එසේම එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනෙකු ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

එලෙස අධිකරණය හමුවේ පෙනී සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

ඉන් සැකකරුවන් 4 දෙනෙකු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් ආවරණය කොට මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී තිබෙන බවට චෝදනා කළා.

එම අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමතමින් මෙම සිද්ධියේ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් නම් සඳහන් වී තිබෙන ජේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල වත්මන් තත්ත්වය කෙසේ දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රකාශය සටහන් කරගත් බවත් එම ප්‍රකාශය සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය පිලිබඳ විමර්ශන සිදු කරමින් පවතින බවයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් යොමු කළා.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව ඔබලා විමර්ශනය සිදුකරන බව සඳහන් කළා. එසේ නම් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ට එරෙහිව ලබාදුන් සාක්ෂි වල සත්‍ය අසත්‍යතාවය ඔබලා පරික්ෂා කළා ද? උසස් නිලධාරීන් සම්බන්ධයෙන් එක් ආකාරයකටත් සැකකරුවන් සම්බන්ධයෙන් තවත් ආකාරයකටත් කටයුතු කිරීම අධිකරණයට අනුමත කරන්න බැහැ.ප්‍රධාන සැකකරුවන් මගහැර විමර්ශනය සිදු කිරීම අනුමත කරන්න බැහැ. සැකකරුවන් තෝරාගෙන පරීක්ෂණ කරන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක තවත් නඩුවක් විතරයි. මේ නඩුව දෙස විවෘතව බලන්න. සෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් සමාන ආකාරයෙන් විමර්ශනය කරන්න.

එලෙස ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනයට නීතිපති වරයා මැදිහත් වී ඇති හෙයින් අධිකරණයේ ඊට අදාළව නියෝගයක් නිකුත් කිරීමට අපේක්ෂා නොකරන බවද සඳහන් කළා.

කෙසේ වෙතත් ප්‍රධාන සැකකරුවන් අත හැර සෙසු පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන බව කී මහේස්ත්‍රාත්වරයා මෙම කරුණු සම්බන්ධයෙන් මීළඟ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරන කරුණු ගැන විමසා බලා අවශ්‍ය වුවහොත් සුදුසු නියෝග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියා.