hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 21, පෙ.ව. 11:48



රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ අයාලේ යන කිරි එළදෙනුන් සබරගමුව පළාත් කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය යටතේ පවතින ගොවිපළවල් වෙත යොමු කිරීමට කටයුතු කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පෙරේදා (19) සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදීයි.

විවිධ පිරිස් විසින් සිය කිරි එළදෙනුන් නිදහසේ මුදාහැරීම හේතුවෙන් ප්‍රශ්න රැසක් පැන නැඟී ඇතැයිද පැවැසූ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද පැවැසුවා.

“ග්‍රාමීය ප්‍රදේශවල වගා හානිය මෙන්ම නගර ආශ්‍රිතව අධික මාර්ග තදබදයටත් මාර්ග අනතුරුවලටත් මෙලෙස අයාලේ යන ගවයන් හේතුවක් වෙලා. රත්නපුර, බළන්ගොඩ, කෑගල්ල, ඇඹිලිපිටිය වැනි ඉතා ජනාකීර්ණ නගර ආශ්‍රිතව නිදහසේ සැරිසරන ගව රංචු  දක්නට ලැබෙනවා. මෙලෙස අයාලේ යන එළදෙනුන් සිය භාරයට  ගැනීමට පළාත් පාලන ආයතන වෙත බලතල පවතිනවා. පළාත් පාලන ආයතන භාරයට පත් වන එළදෙනුන් සබරගමුව පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති රත්නපුර, කරපිංච, බළන්ගොඩ, රජවක, කෑගල්ල, මාරුක්වතුර, බැමිණියවත්ත යන ගොවිපොළවල් වෙත සහ උදුගොඩ සත්ත්ව ගොවිපොළ වෙත ලබාදීමට කටයුතු කිරිමට අපි තීරණය කර තිබෙනවා. එම ගොවිපොළවල් ආශ්‍රිතව අක්කර 150ක් පමණ භූමියක් පවතිනවා. ඒවායේ  පොල්, රඹුටන්, කොස් වැනි භෝගද අල, එළවළු, පලතුරු වර්ගද වගා කර තියෙනවා. එමෙන්ම මෙම ගොවිපොළවල් ආශ්‍රිතව කොම්පෝසට් පොහොර නිෂ්පාදන අංගණද ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ගොම එක් කිරීම තුළින් එම කොම්පෝසට් පොහොරවල ප්‍රමිතියට ඉහළ අගයක් එකතු වන බව කෘෂි විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ.”

මෙම අවස්ථාවට පළාත් කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් දර්ශන සමරසේකර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉඳිගහවෙල, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධනංජනී බණ්ඩාර, කළමනාකරු සේපාලිකා අරුණශාන්ති ඇතුළු පිරිසක් එක්ව සිටියා.