hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 11:39



සීගිරිය – මොරගස්වැව ප්‍රධාන මාර්ගයේ හයවැනි සැතපුම් කණුව අසල ගවයකු ඝාතනයකොට මස් කිරීමේ තැත වැරැදී මියගිය ගවයා අසල ගව රංචුවක් හඬා වැටෙන සිද්ධියක් 22 උදෑසන ප්‍රදේශවාසියකු විසින් තම ජංගම දුරකථනයෙන් පටිගත කොට ගෙන තිබෙනවා.

 සීගිරිය, හබරණ ප්‍රදේශවල මේ දිනවල නිදැල්ලේ සහ ගව ගාල්වල සිටින එළ ගවයන් හා මී ගවයන් හොර රහසේ රැගෙන ගොස් එම ආසන්නයේම ගවයන් කපා මස් රැගෙන යෑමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පොලිසියට දන්වා තිබෙනවා.

ඒ අනුව ඉකුත්දා සීගිරිය – මොරගස්වැව  ප්‍රධාන මාර්ගයේ හයවැනි සැතපුම් කණුව ආසන්නයේ ගාලක සිටි පිරිමි ගවයකු හොර රහසේ කිසියම් පිරිසක් රැගෙන ගොස් සැතපුම් කණුවෙහිම ගැටගසා ගෙල කපා මස් කිරීම සඳහා සූදානම් වෙද්දී ගවයන්ගේ හිමිකරු එම ස්ථානයට විදුලි පන්දම් දල්වා එල්ල කිරීමත් සමඟ එම පිරිස දිව ගොස් ඇතැයි ගවයන්ගේ හිමිකරු ජී.ජී. එදිරිසිංහ මහතා හබරණ පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

ඒ අනුව පසුදා පහන් වෙද්දී ගව රංචුවේ සිටි ගවයන් තිස් පස්දෙනකු පමණ පිරිස ගෙල කපා ඝාතනය කොට තිබූ වයස අවුරුදු දෙකහමාරක් පමණ වූ පිරිමි එළ ගවයාගේ මළසිරුර අසලට වී දැඩි ලෙස සංවේදී  වන්නට වී තිබෙනවා.

එහි සිටි අයකු තම ජංගම දුරකථනයෙන් මෙම සතුන්ගේ සංවේදී රූපරාමු පෙළ වීඩියෝ ගත කර ගෙන ඇති අතර දෙපා ඇති තිරිසන් මිනිසකු විසින් සිදුකළ මෙම ඝාතනය සිවුපා තිරිසන් සතුන් එක්ව දුක බෙදාගැනීම් තරම් උසස් මනසක් ඇත්තේ මිනිසුන්ටද තිරිසනුන්ටද යන්න මෙම රූප රාමු පෙළ සාක්ෂි දරනු ඇති.

මෙම ගවයා මස් කිරීම සඳහා රැගෙන ආ  පිරිස සම්බන්ධයෙන් හබරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.