hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 9:22



සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරිමේ හා නවීකරණය කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 1003ක් වියදමක් දරා අක්කර 35ක පමණ වපසරියකින් යුතු ඉඩමක්ද මිලදි ගෙන ඇතත් මේ දක්වා එම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

ඒ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මිට වසර 12කට පමණ පෙර පුළුල් ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකොට තිබූ අතර එහෙත් රජයේ අරමුදල් නොමැතිකම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නොහැකිවී ඇතැයි වාර්තා වනවා.

කෙසේවුවද තෙල් පිරිපහදුව ආරක්ෂිතව පවත්වාගෙන යාම සදහා නවීන උපකරණ හා නවීන තාක්ෂණික මෙවලම් යොදාගෙන ධාරිතාවය ඉහල නැංවීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් අයවැයෙන් ද වෙන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු පිරිපහදුව වසර ගණනාවක් ආරක්ෂිතව ක්‍රියාකළ හැකි අතර ලාභදායිත්වය ද වැඩි කර ගැනීමට හැකිවන බව විගණන වාර්තාවේ සදහන්.

එහෙත් රටේ සමස්ත ඉල්ලුමට සරිලන පරිදි සමස්ත පිරිපහදු සංකිර්ණයේ සංවර්ධනය කළ යුතු බව සඳහන් කරමින් එම ව්‍යාපෘතියද අත්හිටුවනු ලැබුවා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට එහි නිෂ්පාදන වෙළදපොළට සැපයිම පිරිවැය පලදායි ආකාරයෙන් සිදුකිරිම සඳහා යෝජිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරිමේ හා නවීකරණය කිරිමේ ව්‍යාපෘතිය හෝ විකල්ප ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට  නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද