hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 27, ප.ව. 12:15



රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක් වසර පහක පමණ කාලයක සිට පවත්වා  නැතැයි දඹුලු ක්‍රීඩාලෝලීහු පවසනවා.

දැනට පවතින සෑම තරගයක්ම දිවයිනේ අනෙකුත් ක්‍රීඩාංගණවලට පමණක් ලබා දෙන්නේ කුමක් නිසාදැයි ඔවුහු උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයෙන් ප්‍රශ්න කර සිටිනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග නොපවත්වා එහි පවතින විදුලි බුබුළු, අනෙකුත් ද්‍රව්‍ය වෙනත් ක්‍රීඩාංගණයන්ට රැගෙන යෑමේ හෝ ගලවා දැමීමේ අවදානමක් පවතින බවට දඹුලු  ක්‍රීඩාලෝලීහු සැක මතුකරන බව ඔවුහු පවසනවා.

කෙසේවෙතත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය මඟින් පාලනය කරන බැවින් එහි බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුකොට ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිහිපයක් හෝ ලබාදෙන ලෙස ක්‍රීඩාලෝලී ජනතාව ඉල්ලා සිටිනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 2018 සැප්තැම්බර් මස අවසන්වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වූ බවත් ඉන්පසුව මෙතෙක් ජාත්‍යන්තර තරගයක් පවත්වා නැති බවත් ඔවුහු පෙන්වා දෙයි.

මෙම ජනතාව නඟන චෝදනා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් සුජීව ගොඩලියද්දගෙන් ඒෂියන් මිරර් කළ විමසීමේදී කියා සිටියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු රැසක් පවතින බවයි.

එම නිසා කඩිනමින් මේ වසරේ නඩත්තු කටයුතු සියල්ල අවසන් කොට ජාත්‍යන්තර තරග කිහිපයක් පැවැත්වීම සඳහා දැනට සැලසුම් සකස් කරමින් සිටින බවයි.

ක්‍රීඩාංගණයේ සවිකොට ඇති විදුලි පහන් සියල්ල වර්තමානයට සරිලන පරිදි වෙනස් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් තවමත් ඒවා ගලවා හෝ ඉවත් කිරීමේ කටයුත්තක් සිදුකර නැති බවද දැනට විදුලි බුබුළු 160ක ප්‍රමාණයක් පවතින නමුත් එම ප්‍රමාණය 220ක් පමණ දක්වා වැඩි කොට තවදුරටත් විදුලි කණු උස් කිරීමෙන් ක්‍රීඩාංගණයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට   නියමිත බවද හෙතෙම පැවැසුවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගෙවුණු වසරේ දින 97ක පමණ කාලයක් තරග පවත්වා තිබෙන බවද ඒවා ජාත්‍යන්තර තරග නොවුණත් ජාත්‍යන්තර මට්ටමේම ක්‍රීඩාංගණයක පැවැති තරග හා පැවැත්වූ බව ඔහු සඳහන් කළා.

දඹුල්ල ක්‍රීඩාංගණය විශාල ප්‍රේක්ෂක ජනතාවකගේ ආකර්ෂණය ඇති ක්‍රීඩාංගණයක් නිසා ඊට සරිලන විදිහට නව්‍යකරණය විය යුතු බවද හෙතෙම සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ රුපියල් බිලියන 6.6ක වාර්තාගත ලාභයක් ලබා තිබෙන බවත් එම නිසා සෑම ක්‍රීඩාංගණයකම නව්‍යකරණයට ලක් කිරීම්ටද හැකියාව තිබෙන බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් බිලියන 10ක පාඩුවක්  මත  ගමන් කරද්දී කෙසේ හෝ මෙම ගෙවුණු වසර ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට හැකි වී තිබෙන බවද සුජීව ගොඩලියද්ද  පෙන්වා දුන්නා.