hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 14, පෙ.ව. 12:24



පසුගිය මාස කිහිපය මුළුල්ලේම දිවයිනේ ප්‍රදේශ රැසකින් වෙඩි තැබීම ඇතුළු අපරාධ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වූ පසුබිමක එහි ආසන්නතම සිදුවීම ඊයේ (13) පෙරවරුවේ වාර්තා වුණේ දික්වැල්ල වලස්ගල ප්‍රදේශයෙන්.

ඊයේ (13) උදෑසන 7.30ට පමණ වලස්ගල ප්‍රදේශයේ නිවසක් අසලට කළු පැහැයට හුරු මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

ඒ වනවිට එම පුද්ගලයා සිය දියණිය පාසල වෙත ඇරලවීම සඳහා යතුරු පැදියට නංවා ගැනීමට සූදානමින් සිට තිබෙනවා.

එහිදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක් වුවත් ඒ ආසන්නයේම සිටි දියණියට හානියක් සිදුව තිබුණේ නැහැ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යැවුනා.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර පොලිසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර් රථයේ අංක තහඩුව යාපනය ප්‍රදේශයේ මෝටර් රථයකට හිමි අංකයක් බවට අනාවරණය වී ඇති බවයි.

අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් වෙඩි තැබීමට හේතු වී ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර බිබිල මැදගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලැබුවේ මැදගම ප්‍රදේශයේ පදිංචි තිස් නව හැවිරිදි පුද්ගලයෙක් වන අතර වෙඩි තැබීම සිදු කර ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට අයත් ගව පට්ටියක ගවයින් සිදුකල වගා හානියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් වෙඩි තැබීමට හේතු වී ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු පසුව ගිනි අවියත් සමඟ දඹගල්ල පොලිසියට භාර වී තිබෙනවා.

මෙවන් පසුබිමක පොලිසිය පවසන්නේ වාර්තා වන වෙඩි තැබීමේ සිදුවීම් වල යම් වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා මෙසේ සඳහන් කළා,

“2023 වර්ෂයේ ජනවාරි පළවෙනිදා ඉඳලා සැලකුවොත් මේ වනවිට වෙඩි තැබීමේ සිදුවීම් විසි නමයක් පමණ වාර්තා වෙනවා.මෙයින් පුද්ගලයන් දහනම දෙනෙක් පමණ මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තවත් පිරිසක් තුවාල ලබලා තියෙනවා. වෙනත් වර්ෂ වලට සාපේක්ෂ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමට උත්සාහ කිරීම් වල යම්කිසි ආකාරයක වැඩිවීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්.”