hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 31, ප.ව. 2:39



ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

31 හැවිරිදි සුබසිංහ සිරිවර්ධන නුවන් චින්තක නැමැති පිරිමි පුද්ගලයෙකු සහ දෙල්අංගේ ගෙදර අනුරාධා සෙව්වන්දි නැමැති 19 හැවිරිදි කාන්තාව මෙසේ කටුනායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මොවුන් ඉකුත් 27 දින ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ පිරිමි පුද්ගලයෙකු ඝාතනය කර මෙසේ ඩුබායි වෙත පළා යෑමට සුදානම් වන බවට තොරතුරක් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව මොවුන්ට එරෙහිව තාවකාලික ගුවන් ගමන් තහනමක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පනවා තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී 08.35 ට ඩුබායි බලා පිටත්ව යන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට පිවිසීම සදහා මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

ඉන්පසුව මොවුන් දෙදෙනා ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් ගල්කිස්ස පොලීසිය වෙත මොවුන් දෙදෙනා භාර දීමට පියවර ගෙන තිබෙනවා.

කටුනායක – ටී.කේ.ජී.කපිල