hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 6:01



මැදවච්චිය, බෙල්ලන්කඩවල ගම්මානය හරහා ගමන් ගන්නා යෝධ ඇළේ සිට එළුවන් කෑමට නිවස වෙතට පැමිණි කිඹුලෙකු නිවස පහළ පිහිටි ළිඳට වැටී සිටි බව ත් අනතුරුව දින දෙකක කාලයක් ළිඳේ ජලය ඉවත් කර එම කිඹුලා නිරුපද්‍රිතව ගොඩට ගත් බව ත්, එසේ ගොඩට ගත් කිඹුලා දින දෙකක කාලයක් ගත වන තුරුත් රැගෙන යාමට මේ වන තෙක් මැදවච්චිය වනජීවී නිලධාරීන් කටයුතු නොකළ බව ත් නිවසේ හිමිකරු ඩබ්ලිව්. කේ.එස්. ජයවර්ධන මහතා පැවසුවා.

එලෙස කටයුතු කරන වනජීවී නිලධාරීන් කිඹුලාගේ ජීවිතයට අනතුරක් වුවහොත් වගකිව යුතු බව ද ඒ මහතා සඳහන් කළා.

පසුගිය 4 වනදා උදෑසන ගේ හිමියාගේ බිරිය නිවස පිටුපස පිහිටි ළිඳෙන් ජලය රැගෙන ඒමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ළිඳේ කිඹුලකු වැටී සිටින බව දැක ගේ හිමියා වෙත බිරිය දැනුවත් කර තිබෙනවා.

ඩබ්ලිව්. කේ. එස්. ජයවර්ධන මහතා මෙසේ පැවැසුවා.

“ළිඳට වැටී සිටි කිඹුලා ප්‍රදේශවාසීන් සමග එක්ව ගොඩට අරගෙන දින 2ක් ගත වුවත් වනජීවී නිලධාරීන් පැමිණ එම කිඹුලා ගෙන යාමට කටයුතු කළේ නෑ. මට ළිඳේ වතුර ඉහා ගන්න තෙල් ගේන්න සල්ලි තිබුණේ නෑ. මම බිරියගේ මුද්දක් රුපියල් 7,000ට උකස් කරලා ඒකෙන් තෙල් අරන් ඇවිත් ළිඳේ ජලය දින දෙකක් පුරා ඉස්සා. අනතුරුව 6 වන දා සවස 4.30ට පමණ කිඹුලා ලණුවලින් ගැට ගහලා ගොඩට ගත්තා.

දැන් මේ සතාව ලෙහන්නත් බෑ. මොකද මේ සතා දැන් මාස 3ක් පමණ ගමට ඇවිත් එළුවන්, බල්ලන් අල්ලගෙන කනවා. මේ කිඹුලා දැන් ඒකට පුරුදු වෙලා ඉන්නේ. අපිවත් කන්න ඉඩ තියෙනවා මේ සතා. ඉතින් ළඟ තැනකට සතා නිදහස් කරලා බෑ. අපිට නැවත කරදරවලට මුහුණ දෙන්න වෙනවා. මේ සතා අරන් යන්න කියලා අපි වනජීවී නිලධාරීන්ට කිව්වා. ඒ අය කියනවා කිඹුලා අරන් යන්න වාහන නෑ කියලා. අපි ඒ අයට කියනවා මේ සතාගේ ජීවිතයට හානියක් වුණොත් ඒ වගකීමත් භාරගන්න සූදානම් වෙන්න කියලා.”

මේ පිළිබඳ මැදවච්චිය වනජීවී නිලධාරි ප්‍රියංකර මහතා මෙසේ සඳහන් කළා,

“අපිව මේ පිළිබඳ දැනුවත් කළා ගම්මානේ අය. මේ කිඹුලා ඒ අසල ඇළකට නිදහස් කරන්න මේ අය කැමැති නෑ. ඒ නිසා මේ කිඹුලව අපට විල්පත්තු රක්ෂිතයට ගෙනියන්න වෙනවා. ඒත් අපිට වාහන නෑ. ඒකයි මේ ප්‍රමාදය. මම ඒ පිළිබඳ අනුරාධපුර කාර්යාලයත් දැනුවත් කළා.”