hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 28, ප.ව. 1:50



තම කණ්ඩායම තවම අසුන් ගෙන තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ බවත් නමුත් හෙට ගැන අනාවැකි කිව නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

තවම විපක්ෂයේ වාඩි වීමට අවශ්‍යතාවයක් නොමැති බවත් අවශ්‍ය වුවහොත් විපක්ෂයේ වාඩි වීමටද හැකි බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

ඔහු මේ බව පැවසූවේ අද (28) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

වෙනම පක්ෂයක් ලෙසද සංවිධානය වීමටද පැකිලෙන්නේ නැති බවත් තම කණ්ඩායමේ මුල සිටිම අරමුණ වූණේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම බවත් ඔහු පෙන්වා දුන්නා.

අපි හඬ නැගුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට මිසක් පූට්ටු ආණ්ඩුවකට නො වන බවද මන්ත්‍රීවරයා මෙහි දී කියා සිටියා.

පෙර නොවූ විරූ අන්දමින් මෙරට විදේශ සංචිත හිඟ වී, රට ආර්ථික වශයෙන් අර්බුදයකට ගොස් ඇති අවස්ථාවක එක් පක්ෂයකට එම අර්බුදය විසඳිය නො හැකි බව වටහා ගනිමින්, ඒ සඳහා සියලු දෙනා එක් වී විසඳුම් සෙවිය යුතුය යන තීරණය මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගීම සඳහා තමන් ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ආ බවත් ඒ සඳහා දේශපාලන මතවාද පසෙක ලා ප්‍රධාන විපක්ෂය සමග ද එක් වී කටයුතු කිරීමට තීරණය කරමින් පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයා තේරීම සඳහා වන ඡන්ද විමසීමට තමා ඉදිරිපත් වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

තවද මේ අර්බුදය ගොඩ ගැනීමට එක් පක්ෂයකට, එක් පුද්ගලයෙකුට හෝ එක් පවුලකට හැකියාවක් නොමැති බව තමන් තරයේ විශ්වාස කළ කළ බවත්, ඒ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත් බවත් මන්ත්‍රීවරයා මෙහි දී කියා සිටියා.

එසේ ම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව රටේ ජනතාව සහ තරුණ ප්‍රජාව ඉතා උද්‍යෝගයෙන් යුතුව රට පුරා චිත්‍ර අඳිමින් ලස්සන රටක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කළ ආකාරය තමා දුටු බවත් වසර කිහිපයකින් පසුව එකී ජනතාවගේ ම අපේක්ෂා භංගත්වය ජන නැගිටීමකට හේතු ආකාරයත් පෙනෙන්නට තිබෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, තමන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ම මේ ආර්ථික අර්බුදය සඳහා විත්තිකරුවන් වන බවත්, එය එක් එක් අය අතර විවිධ ප්‍රමාණයේ මාත්‍රාවන්ගෙන් බෙදී යන බවත් ඔහු අවධාරණය කළා.

තමා ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් පරාජයට පත් වූයේ ඉලක්කම්වලින් බවත් තමා දේශපාලනිකව පරාජය නොවූ බවත් මන්ත්‍රීවරයා මෙහි දී සඳහන් කළා.