hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 8:55



හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (19) උදේ 9.00ට කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යාමට ප්‍රථම සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ කැඳවා ඇතැයි වාර්තා වනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා 2021 වසරේදී රූපවාහිනි නාළිකාවක් සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබුණා.

රාජ්‍ය බුද්ධි සේවයට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බව ඔහු මෙම සාකච්ඡාවේදී පවසා තිබුණා.

නවුෆර් මව්ලවි නමැත්තා මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන් ම කණ්ඩායමේ නායකයා වුවත් ඔහු මහමොළකරු බවට නිශ්චිතව ම කිව නොහැකි යැයි ද දප්පුල ද ලිවේරා මහතා එහිදී සඳහන් කර තිබුණා.

සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළ ද ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයන්ගෙන් එක් අයෙකු පමණක් බව ත් හිටපු නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කිරීමට ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ද පසුව මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළා.

විශ්‍රාම යාමෙන් පසු නීතිපතිවරයා ද සාමාන්‍ය පුද්ගලයෙකු නිසා ඔහු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්න කිරීමට හැකි බව කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑ ම පුද්ගලයෙකු වගකීමෙන් කිසියම් ප්‍රකාශයක් සිදු කළහොත් ඔහු කැඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළා.