hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 7:00



ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හා සමගි ජන බලවේගයේ බද්දේගම ආසනයේ ප්‍රධාන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට ඊයේ (21) ඒ මහතාගේ නිවසට පැමිණි අයෙකු බැණ මරණිය තර්ජනය කළ බවට මන්ත්‍රිවරයා විසින්  පොලිසියට පැමිණිල්ලක් කොට ඇති බව නාගොඩ පොලිසිය පැවසුවා.

හිටපු මන්ත්‍රිවරයා විසින් උදෑසන මිදුල අතුගාමින් සිටියදි හිස්වැසුමක් පැළද කොණ්ඩය වවාගෙන පැමිණි අයෙකු පාරක් ඇසු බවත් පසුව ඔහු වැඩිය දගලන්න එපා කියා මරණිය තර්ජනය කළ බවට මන්ත්‍රිවරයා විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වෙනවා.

මේ පිළිබද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගෙන් ඒෂියන් මිරර් අප කළ විමසුමකදී මෙසේ සඳහන් කළා.

“අළුයම 4.00ට පමණ අවදි වෙලා මිදුල අතුපතු ගාලා ආගමික කටයුතු කිරිම මා පුරුද්දක් වශයෙන් කරනවා. අළුයම  හිස්වැසුමක් දමා ගත්තු රැවුල හා කොණ්ඩය වවලා  හිටපු අයෙක් මාගේ නිවසට පැමිණියා. පාරක් අහන්න ආවේ කියලා ඔහු කිවා. මා ඇසුවා කොහෙද කියලා. ඒ සමග වැඩිය දගලන්න එපා. කියලා මට මරනවා කියලා තර්ජනය කළා. යතුරුපැදිය  මාර්ගයේ නතර කරලා තිබුණේ ඒ සමග ඔහු පලාගියා.”

ගාල්ල – ලලිත් චාමින්ද