hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මැයි 08, පෙ.ව. 9:52



ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළා.

ඩෙංගු රෝගීන් 2017 වර්ෂයේදී එක්ලක්ෂ අසූ හය දහසක් හමු වූ බවත් ඒ අවස්ථාවේදී සෑම රෝහලක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගිය බවත් ඔහු සඳහන් කළා.

එවැනි අවදානමක් මතු වේ දැයි සැකයක් පවතින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් වැඩි වුවහොත් කළමනාකරණය කර ගැනීම ප්‍රායෝගිකව අපහසු වන බවද ප්‍රකාශ කළා.

ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බව පවසන සෞඛ්‍ය අංශ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවී ඇතැයිද සඳහන් කළා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 6,953ක්.

දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 6,500 ක්.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවත් මේ වසරේ මේ දක්වා කාලයේදී එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1262ක් වාර්තාවී ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ දිස්ත්‍රික්ක 15කට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

වාර්තා වන රෝගීන්ගෙන් 25%ක් පමණ පාසැල් ළමුන් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා,

“දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨස 55ක් අධි වසංගත තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස නම්කරලා තියෙනවා. ඒ වගේම ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරන දත්ත අනුව ඩෙංගු මරණ 15ක් වාර්තා වෙනවා. රෝහලකට දරාගන්න පුළුවන් සංඛ්‍යාව 600ක් පමණ වෙනවා ශ්‍රී ලංකාය තුළ. නමුත් මෙවන විට රෝගීන් 2,000කට අසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. එම වාර්තා වන රෝගීන්ගෙන් 25%ක්ම වාර්තා වෙන්නේ පාසල් යන වයසේ දරුවන්. එම නිසා පාසල්වල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ පෞද්ගලික උපකාරක පංතිවල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට අපි අනිවාර්යෙන් පියවර ගන්න අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේවන විට චක්‍රලේඛනයක් නිතුත්කරලා තියෙනවා පාසල්වල විදුහල්පතිවරන් සඳහා ඩෙංගු කමිටු සක්‍රීය කරන්න කියලා. ඒ වගේම ඩෙංගු කමිටු සක්‍රීය කරලා විතරක් වැඩක් නැහැ. මේකට අදාළව ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට වැඩපිළිවෙලක් සකකස් කරන්න ඕනේ.”