hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 02, පෙ.ව. 4:52



ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රශ්නගත දිනයේ රාජකාරි සහ පෞද්ගලික ජංගම දුරකතනය මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන වෝහාරික පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ මෙම සිදුවීම නොවැළැක්විම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කළ යුතු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙතෙක් සැකකරුවෙකු ලෙස නම් නොකිරීම විමතියට කරුණක් බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙලෙස කරුණු දැක්වූවා ,

“ස්වාමීනි, පොලිස්පතිවරයා පෙරදිනේ ලිඛිත උපදෙස් දී තිබියදීත් මෙම සිද්ධිය වලක්වන්න ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කටයුතු කර නැහැ. එහෙම තත්වයක ඔහු දැන් පොලිස්පති වරයාව බිල්ලට දෙන්න හදනවා. ජේෂ්ඨ නිලධාරියෙක් නීති විරෝධී උපදෙස් දුන් පමණින් ඒවා පිළිපදින්න ඔහු බැඳිලා නැහැ. එබැවින් දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂා කරන අදෘශ්‍යමාන හස්තය මොකක්දැයි අපි දැනගත යුතුයි.”

එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පති වරයා ඇමතූ මහෙස්ත්‍රාත්වරයා මෙසේ විමසුවා,

“මෙම විමර්ශනයට යම් යම් බාධා වෙනවා කියලා නීතිඥවරුන් දිගින් දිගටම චෝදනා කරනවා. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන පවත්වාගෙන යාමේදී එම විමර්ශන අධීක්ෂණයට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යොමු කරන්න ඔබට පුළුවන්ද?”

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා මැයි 9 වනදා අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීමට පොලිස් අපරාධ අංශය භාරව කටයුතු කරන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාව නම් කර තිබෙනවා.

අනතුරුව ජේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ මෙසේ අදහස් දක්වා සිටියා,

“ප්‍රශ්නගත සිදුවීමට පෙර දින පොලිස්පතිවරයා ලබාදුන් ලිඛිත උපදෙස් මත අදාළ සිදුවීම වැළැක්වීමට අවශ්‍ය විධිවිධාන යෙදීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබෙනවා. ප්‍රශ්නගත සිදුවීම වන අවස්ථාවේ ඔහු සිට ඇත්තේ නිල කාර්යාලයේ. අරලියගහ මැදුර ආසන්නයේ සිදුවීමක් වන බවට ලද ආරංචියක් මතයි ඔහු එතනට ගිහින් තිබෙන්නේ. එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා එම නොසන්සුන්කාරී තත්ත්වය වැළැක්වීමට පොලිස්පතිවරයා ඔහුට ලබා දුන් උපදෙස් ගැන මාගේ සේවාදායකයාට පවසා තිබෙනවා. එමෙන්ම ඒ අවස්ථාවේදී පොලිස්පතිවරයා දුරකථනයෙන් මාගේ සේවාදායකයා අමතා උපදෙස් දී තිබෙනවා. නමුත් ස්වාමීනි ඒ උපදෙස් අතර පරස්පරතා තිබී තිබෙනවා. ඒ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් කතා කරලා තියෙනවා. මේ සියලු උපදෙස් අතර පැවැති පරස්පරතා නිසයි මගේ සේවාදායකයා ඉහළම දේශපාලන අධිකාරියෙන් සිදුවීම වැලැක්වීමට උපදෙස් අරගෙන තියෙන්නේ. ජනාධිපතිවරයා සමග පැවති දුරකථන සංවාදය විනාඩි 11 ක් පමණ තිබී තිබෙනවා. ඒ ඇමතුමෙන් පසුවයි කඳුළු ගෑස්, ජල ප්‍රහාර යොදා කලහකාරීන් විසුරුවා හැරීමට මාගේ සේවාදායකයා කටයුතු කර තිබෙන්නේ.”