hit counter

2026 සැප්‍තැම්‍බර් මස 19 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:13



මෙරට ආර්ථික වර්ධන වේගය නැවතත් මන්දගාමී තත්ත්වයකට පත්ව ඇති බවත්, වත්මන් ආර්ථිකය තවමත් 2018 වසරේ පැවති මට්ටමට හෝ ළඟා වී නොමැති බවත් Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත විග්‍රහ කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1ක් ලෙස වාර්තා වූ ආර්ථික වර්ධන වේගය, දෙවන කාර්තුව වන විට සියයට 4.2ක් දක්වා සියයට එකකට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි.

ආර්ථිකය වර්ධනය වෙමින් පැවතුණ ද, වර්ධනය වන වේගය අඩාල වීම රටේ අනාගතයට යහපත් ප්‍රවණතාවක් නොවන බව හෙතෙම අවධාරණය කරයි.

විශේෂයෙන්ම මෙරට දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ සංසන්දනාත්මකව බැලීමේදී, දෙවන කාර්තුවේ වාර්තා වූ දදේනි අගය (රුපියල් බිලියන 3,029.8ක් පමණ) 2018 වසරේ දෙවන කාර්තුවේ පැවති දදේනි අගයට (රුපියල් බිලියන 3,121.5) වඩා තවමත් සියයට 2කට ආසන්න ප්‍රමාණයකින් අඩු මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. මෙයින් ගම්‍ය වන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ජනතාවගේ ජීවන මට්ටම වසර 8ත් 10ත් අතර කාලයකින් ආපස්සට ගොස් ඇති බවයි.

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය අංශ අනුව විමර්ශනය කිරීමේදී කෘෂිකාර්මික අංශය සියයට 2.3කින් සංකෝචනය වී ඇති අතර, වී නිෂ්පාදනය සියයට 15.1කින් සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන සියයට 15කට ආසන්න ප්‍රමාණයකින් පසුබෑමකට ලක්ව තිබේ. කාර්මික අංශය සියයට 7.3ක වර්ධනයක් වාර්තා කර ඇත්තේ මූලික වශයෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය (13.9%) සහ පතල් හා කැනීම් ක්ෂේත්‍රය (17.4%) ලැබූ වර්ධනය හේතුවෙනි. සේවා අංශය සියයට 2.7ක සාමාන්‍ය වර්ධනයක් සටහන් කර ඇත.

ආර්ථික වර්ධන වේගය අඩාල වීම සාමාන්‍ය ජනතාවගේ ආදායම් මාර්ග සහ වැටුප් ඉහළ යාමට සෘජුව බලපාන බව පෙන්වා දෙන ධනනාත් ප්‍රනාන්දු මහතා, එමඟින් දරිද්‍රතාවය ඉහළ යාමේ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව රට යළිත් ණය අර්බුදයකට මුහුණ දීමේ අවදානම ඉහළ යන බව අනතුරු අඟවයි. එසේම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාමට ද මෙය බාධාවක් වනු ඇත.

රට මුහුණ දී ඇති මෙම අවදානමින් මිදීමට නම් දිගුකාලීනව ආර්ථික වර්ධන වේගය සියයට 6ත් 7ත් අතර මට්ටමක පවත්වා ගත යුතු බවත්, ඒ සඳහා දේශපාලන බලය අල්ලා ගැනීමට එහා ගිය පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි. විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ, ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාවට නොනැංවුවහොත්, රටට තවත් වසර ගණනාවක් ආපස්සට යාමට සිදුවනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: