hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 11:12



ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කරමින් විමර්ශන නිලධාරීන්ට ඒ සඳහා බලතල ඇති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (24) අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් පියවර ගෙන කටයුතු කරන ලෙසට දන්වා මහෙස්ත්‍රාත්වරයා නඩුව බහා තැබීමට නියෝග කළා.

විමර්ශනයන් සිදු කර අවශ්‍ය පියවර ගැනීමට විමර්ශන නිලධාරීන්ට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ බලතල ඇති බැවින් අධිකරණ නියෝග ඒ සඳහා අවශ්‍ය නොවන බව මහෙස්ත්‍රාත්වරයා එහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවැසුවා.

පැමිණිල්ල විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32 යටතේ වරදවල් අනාවරණය වන බැවින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්‌ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.