hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 10, ප.ව. 12:36



දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිඹුරත්තෑව ගම්මානයේ ජනතාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබාදුන් ඡන්ද පොරොන්දු ඉටු නොකළ දේශපාලනඥයන්ට තම ගමට නොපැමිණෙන ලෙස දැනුම්දෙමින් පිඹුරත්තෑව ගම්මානයට පිවිසෙන මාර්ගයේ පෙරේදා (08) විරෝධතා බැනර් ප්‍රදර්ශනය කර තිබුණා.

පිඹුරත්තෑව තරුණ සංවිධානය මඟින් දියත්කර තිබූ මෙම විරෝධතා බැනර් ප්‍රදර්ශනය සමඟ තම ගම්මානයේ සියලු අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදානයක්ද දවස පුරා පැවැත්වුණා.

වර්තමානයේ මෙහි පවුල් 525ක් ජීවත්වන බව තරුණ සංවිධානය පැවැසුවා.

පිඹුරත්තෑව ප්‍රදේශවාසී කුසුම් කුමාරි ඒ සම්බන්ධව මෙසේ අදහස් දක්වා සිටියා,

“පිඹුරත්තෑව ගමේ පවුල් 525ක් පමණ ජීවත් වෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු අපිට ඉටුකරලා දීලා නෑ. අපේ පාරවල් හදලා දෙනවා කිව්වා. අලි වැට හදලා දෙනවා කිව්වා. අනෙකුත් යටිතල පහසුකම් දෙනවා කිව්වා. මේවා කිසිවක් කරලා දුන්නෑ. ඒ නිසා අපි මෙවර ඡන්දය දීමෙන් වැළකී සිටින්න තීරණය කළා.”

අසිත කුමාර කීවේ මෙවැනි කතාවක්.

“අපේ ඡන්ද අරන් මන්ත්‍රිවරු ප්‍රාදේශීය සභාවට යන්නේ අපිට සේවය කරන්න. නමුත් ඒවා ඉටුවෙන්නේ නැති නම් අපි ඒ අයට මෙවර ඡන්දය දෙන්නෑ. දිඹුලාගල ප්‍රාදේශීය සභාවට මන්ත්‍රිවරු 21ක් තේරී පත්වෙනවා. මේ අයට වැටුප් ගෙවන්න ලක්ෂ ගණන් අපේ මුදල් වැය කරනවා. නමුත් අපිට සේවයක් නෑ. අපේ ගමේ වැඩ අපි කරගන්නවා. සේවයක් කළ මන්ත්‍රිවරයෙක් ඉන්නවා නම් ගමට එන්න.”