hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 8:50



පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism UK පසුගිය දා බ්‍රිතාන්‍ය පුස්තකාලය සමඟ “බ්‍රිතාන්‍ය පුස්තකාලයේ සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය” නමින් ගිවිසුමක් අත්සන් කරන තිබෙනවා.

මීට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා පුස්කොළපොත් අත්පිටපත් හතරක් නියමු ව්‍යාපෘතිය ලෙස ඩිජිටල්කරණය කළ අතර ඒවා බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියෙන් හා පරමත්ථ වෙබ් අඩවිය මගින් සියල්ලන්ටම නොමිලේ පරිශීලනය කිරීමට අවකාශය සලසා ඇත.

සිංහල පුස්කොළපොත් අත්පිටපත් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය පුස්තකාලය සතුව පවතින අතර ඒවායින් බොහොමයක් හියු නෙවිල් (1847 – 1897) විසින් යටත් විජිත යුගයේ සිවිල් සේවකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ වසර 32 ක කාලය තුළ එක්රැස් කරන ලද එකතු කිරීම් වල කොටස් ය. Hugh Nevill අත්පිටපත් එකතුව ශ්‍රී ලංකාවෙන් පිටත සිංහල අත්පිටපත්වල වැදගත්ම එකතුව ලෙස සලකනු ලබන අතර, එම එකතුවට 17 සිට 19 වන සියවස දක්වා දිවෙන ගද්‍ය සහ පද්‍ය අත්පිටපත් 2,227ක් ඇතුළත්.

බ්‍රිතාන්‍ය පුස්තකාලය සමඟ අත්සන් කරන ලද ගිවිසුම අනුව මින් ඉදිරියට මෙම එකතුවෙහි ඉතිරි අත්පිටපත් ඩිජිටල්කරණය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘතිය ආරම්භ කරනු ලබන අතර බ්‍රිතාන්‍ය පුස්තකාලයේ සහ පරමත්ථ සංවිධානයේ වෙබ් අඩවි හරහා ඩිජිටල්කරණය කළ අත් පිටපත් නොමිලේ ඕනෑම කෙනෙකුට ලබාගත හැකියි.

ශ්‍රී ලාංකික සංවිධානයක් ලෙස පරමත්ථ සංවිධානය වෙත මුල් පිටපත වෙබ් ප්‍රකාශන ලෙස පළකිරීමට පූර්ණ අයිතිය ඇති අතරම බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියේද එය පළකරනු ඇති.

පරමත්ථ සංවිධානය වෙනුවෙන් ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමි ගිවිසුමට අත්සන් තැබූ අතරම බ්‍රිතාන්‍ය පුස්තකාල මණ්ඩලය වෙනුවෙන් සර්ක්සීස් මැස්ඩා (Xerxes Mazda) Head of Collections and Curation ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ත්‍රිපිටක අට්ඨකථා ඇතුළු බෞද්ධාගමික ග්‍රන්ථ හා සාහිත්‍ය, ඉතිහාසය ග්‍රන්ථද පාලි ව්‍යාකරණ, ජ්‍යොතිෂය, සිංහල වෛද්‍ය විද්‍යාව, ගණිත හා වාරි තාක්ෂණය ආදී පුළුල් පරාසයක විහිදුනු මෙම වටිනා අත්පිටපත්වල ඩිජිටල්කරණ වියදම් පියවා ගැනීම සඳහා පරිත්‍යාග කිරීම තුළින් පරමත්ථ සහ ICTB UK සංවිධාන සමග සම්බන්ධ වෙමින් මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයට සහය වීමට ලොව පුරා වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට අවකාශය සැලසී තිබෙනවා. වැඩි විස්තර පරමත්ථ හා ICTBUK වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි.