hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 31, ප.ව. 2:11



සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන භේදයෙන් තොරව සියලුදෙනාට එක්වන ලෙස ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තු පළමු සැසි වාරයේදී ජනාධිපතිවරයා විසින් ඒ සඳහා සියලු පක්ෂ වෙත ඇරයුම් කරන බව ද ඒ මහතා සඳහන් කළා.

31 වෙනිදා මහනුවර පැමිණි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තා.

මහනුවර පුරපති කේසර සේනානායක මහතා විසින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී අග්‍රාමාත්‍යවරයා පිළි ගෙන තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේදී ඒ මහතා පිළිගනු ලැබුවේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතා විසින්.

දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් තබා තිබෙනවා.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා මෙම තීරණාත්මක අවස්ථාවේදී රට මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා රජය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසට සියලු දෙනාට ඇරයුම් කරන බව සඳහන් කළා.

රටේ සියලු පාර්ශව සමඟ මිත්‍රත්වයෙන් හා අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නේ රජය වන බැවින් හදිසි නීතිය සම්මත කරනු ලැබුවේ සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව හා රට තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා යැයි ද සඳහන් කළා.

ජනාධිපතිවරයා සහ තමන් මේ වන විට තානාපතිවරු ඇතුලු ජාත්‍යන්තර සබඳතා දැනුවත් කොට සහයෝගය ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා.

රටට නීතියක්, රීතියක් මෙන්ම නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා හදිසි නිතිය ක්‍රියාත්මක වන්නේ සියලු රට වැසියන්ගේ යහපත පිණිස යැයි ද ඒ මහතා අවධාරණය කළා.

රජය පමණක් නොව පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය රටේ ජීවනාලිය වන බැවින් කඩාකප්පල්කාරී ක්‍රියා, නීතියෙන් බාහිර ක්‍රියා සිදු කිරීමට අවස්ථාව නොදෙන බව පවසා සිටියා.

අධිකරණයට ගරු කරන රජයක් වශයෙන් අධිකරණ තීන්දු හිස නමා පිළිගන්නා බවත් අරගලකරුවන්ට පමණක් නොව අසාධාරණයට ලක්වූ බව හැගේ නම් ඕනෑම අයෙකුට අධිකරණයේ පිහිට පැතීමේ අයිතියට ගරු කරන බව හෙතෙම සඳහන් කළා.

තරුණ හඩට සවන් දෙමින් පාර්ලිමේන්තුව හරහා ඊට සුදුසු ගමන් මඟ සකස් කරන බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මහනුවර – කමල් සුරවීර