hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 13, පෙ.ව. 9:26



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතා අබිරහස් ලෙස මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බැවින් ඔහු භාවිත කළ ජංගම දුරකථන අංකය ඇතුළත් සිම් පතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිගණක තොරතුරු විමර්ශන අංශයේ විමසීමකින් තොරව ඔහුගේ බිරිය වෙත ලබාදීමටයි.

නියෝගයක් ලබාදිය නොහැකි බව කොළඹ අංක 2 අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වෙත ඊයේ (12) දැනුම් දුන්නා.

දිනේෂ් ශාෆ්ටර් මහතා භාවිත කළ දුරකථන අංකය ඇතුළත් සිම්පතක් තමන් වෙත ලබාදීමට නියෝගයක් ලබා දෙන ලෙසට ඔහුගේ බිරිය අධිකරණයේ ඉල්ලීමක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය එසේ නියෝග කළා.

මියගිය ශාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකථන අංකයට අදාළ සිම්පතක් ඔහුගේ බිරියට ලබාදිය හැකිද යන්න පිළිබඳව ඊළඟ නඩු වාරයේදී අධිකරණය වෙත දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම නඩුව මෙම මස 15 දින නැවත කැඳවීමට නියමිතයි.

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානි කර ගැනීමක්ද යන්න මෙතෙක් තීරණය වී නොමැත.

භූමදානය කෙරුණු ඔහුගේ දේහය පසුගිය මැයි 25 වැනිදා බොරැල්ල කනත්තේදී ගොඩගැනුණේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පංචපුද්ගල විද්වත් වෛද්‍ය මණ්ඩලයේ ඉල්ලීම අනුවයි.

ෂාෆ්ටර් මහතාගේ සිරුර ගොඩගැනීමෙන් පසු දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීම සඳහා අධිකරණය විසින් මෙම පංච පුද්ගල විද්වත් කමිටුව පත්කරන ලදී.

එම විද්වත් වෛද්‍ය මණ්ඩලයේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල් මෙන්ඩිස් මහතා විසින් දරනු ලැබූ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.එච්.එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි පී.ආර්. රුවන්පුර එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙයි.