hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 04, ප.ව. 4:03



ඊයේ (03) රාත්‍රියේදී බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දී තුවාල සිදුකළේ යැයි සැකපිට බදුල්ල බදුළුපිටියේ පදිංචි පුද්ගලයන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

එම පහරදීම සිදුකර තිබෙන්නේ නිධන්ගත රෝගී තත්ත්වයක සිටි රෝගියෙකුට අසාධ්‍ය වූ අවස්ථාවේ නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා නිසා රෝගියා මිය ගියේ යැයි පවසමිනි.

මේ වනවිට පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම පහරදීම හේතුවෙන් මේ වන විට එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විරෝධතාවයක නිරතව සිටී.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයින් බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේම පදිංචි මියගිය පුද්ගලයාගේ ඥාතීන් පිරිසක් බව අනාවරණය වී තිබෙනවා.  

මේ සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසීමකදී මෙසේ අදහස් දක්වා සිටියා,

“මෙම රෝගියා මීට දින තුනකට පෙරදී තමයි වාට්ටුවට ඇතුල්කර තිබෙන්නේ. රෝගියා අසාධ්‍ය තත්වයෙන් පසුවන බව ඥාතීන්ට කල්තියාම දැනුම්දීමක් කර තිබෙනවා. ඒත් සමගින් ඔහුට නියමිත ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම රෝගියාගේ රෝගී තත්වය ඊයේ (03) රාත්‍රියේදී උත්සන්නව පැවති මොහොතක ඒ බව දැනගත් රෝගියාගේ ඥාතීන් දහයකට වැඩි පිරිසක් වාට්ටුවට බලහත්කාරයෙන් පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් වෛද්‍යවරයාට මෙන්ම හෙද නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා.”

“එමෙන්ම රෝහල් වාට්ටුවේ උපකරණ වලටද සුළු අලාභ කර තිබෙනවා. පසුව වෛද්‍යවරයාට පහරදීමක්ද කර තිබෙන බව දැනගන්නට ලැබුණා. එම කලහකාරී හැසිරීම හේතුවෙන් රෝගියාට නිසි ප්‍රතිකාර පවා සිදුකර ගැනීමට අපොහොසත්ව ඇති බවත් දැන ගන්නට ලැබුණා. කෙසේ වෙතත් පසුව මෙම රෝගියා මියගොස් තිබෙනවා. මෙවැනි තත්වයන් අප අනුමත කරන්නේ නැහැ. මෙය රෝහලක් තුල සිදු නොවිය යුත දෙයක්. කෙසේ වෙතත් රෝහල පැත්තෙන් යම් අසාධාරණයක් රෝගියාගේ පාර්ශවයට වෙලාද කියන දෙය පිළිබදවත් අප සොයා බලනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසියට අප පැමිණිල්ලක්ද කර තිබෙනවා. ඒ වෙනුවෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගනීවි කියා අප සිතනවා. පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා මේ වන විට අප රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබනවා.”

මෙම සිද්ධියට විරෝධය පලකරමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුලු රෝහල් සමස්ත කාර්ය මණ්ඩලය අද (04) දහවල් බදුල්ල මහ රෝහල ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් පවසා සිටින්නේ පවතින අසීරු කාලවකවානුවකදී මහත් කැප කිරීම් රාශියක් කරමින් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට සිදුකල මෙම පහරදීම තරයේ හෙලා දකින බවයි.

බදුල්ල – ජයලත් දිසානායක