hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 11, පෙ.ව. 6:08



ධීවර වරාය නීතිගත සංස්ථාවේ රහසිගත තාක්ෂණික කමිටු වාර්තාවක් එහි ප්‍රධානියකු විසින් අනීතික අන්දමින් කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අතරේ බෙදාහැර ඇති බවට ධීවර ඇමැතිවරයාට පැමිණිලි ලැබී ඇතැයි ධීවර අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙය පුද්ගලික අංශයේ ආයෝජන ගැන ප්‍රකාශිත අභිප්‍රායන් ඇතුළත් වාර්තාව බවද පැවසෙනවා.

මෙම සංස්ථා ප්‍රධානියා හිටපු රාජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු වශයෙන්ද කටයුතු කර ඇති බව අනාවරණය වෙනවා.

මෙරට ධීවර වරායන්වල පුද්ගලික අංශයේ සැපයුම් හා ආයෝජන සිදුකිරීමේදී ව්‍යාපාරික සමාගම්වලින් ප්‍රකාශිත අභිප්‍රායන් විමසා ඒවා තාක්ෂණික කමිටුවකට ඉදිරිපත් කරනු ලබන අතර ඒ සඳහා වන අවසන් තාක්ෂණික වාර්තාව මත පදනම්ව තෝරාගන්නා සමාගම්වලට ආයෝජන අවස්ථා ලබාදීම ක්‍රමවේදය වෙනවා.

කිසිදු ආකාරයකින් ප්‍රසිද්ධ නොවිය යුතු රහසිගත මෙම වාර්තාවක් මෙම ප්‍රධානියා විසින් ඡායාරූප ගෙන වට්ස්ඇප් මගින් හිතවත් ව්‍යාපාරිකයන් අතරේ බෙදාහරිමින් වංචනිකව ක්‍රියාවක් සිදුකර ඇතැයිද ව්‍යාපාරිකයන් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා හමුවේ පැමිණිලි කර තිබෙනවා.

ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ධීවර වරායන්වල සැපයුම් හා ආයෝජන සම්බන්ධයෙන් පුද්ගලික අංශයෙන් ප්‍රකාශිත අභිප්‍රායන් විමසා තිබෙන මෙහොතකයි.

එම ව්‍යාපාරිකයන් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ 2021 වසරේදී මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවක් සිදුකර ඇති මෙම ප්‍රධානියා සිටියදී සිය ආයතනවල තොරතුරු ලබාදීමට නොහැකි බවයි.

එම ප්‍රධානියා සිටින තාක් රහස්‍ය භාවය ගැන විශ්වසනීයත්වයක් නොමැති බවද, මෙමගින් පුද්ගලික අංශය ආයෝජන සඳහා ඉදිරිපත් වීම අඩාළ විය හැකි බවද පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහතාගෙන් කළ විමසුමකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමා සොයා බලන බවයි.