hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 10, පෙ.ව. 4:49



එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත් සමඟ උන්ඩියල් ක්‍රමයට විදෙස් ගනු-දෙනු කරන්නෝ අනාගතයේ දී අලාභ සිදුවෙතැයි බියට සහ ඉච්ඡාභංගත්වයට පත්ව ඇතැයි මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසනවා.

එක්සත් ජනපද ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය මේ වන විට පහත වැටීම හේතුවෙන් තමන් සතු ඩොලර් සඳහා රුපියල් ලබාගැනීමට යාමේ දී විශාල පාඩුවක් සිදුවෙතැයි කල්පනා කරන කොළඹ, කොටුව, පිටකොටුව, මීගමුව, කොල්ලුපිටිය ප්‍රධාන නගරවල විදේශ මුදල් හුවමාරු කරන්නෝ ඒ නිසාම වැඩි වශයෙන් ඩොලර් වෙළෙඳ පොළට නිදහස් කිරීමට පටන්ගෙන තිබෙනවා.

ඩොලරයක් සඳහා රුපියල් 360-370ත් අතර ඉහළ මිලක් ගෙවීමට පසුගිය කාලයේ දී සිදු වුණා.

එය මේ වන විට රුපියල් 340-345ත් අතර මට්ටමකට පහත වැටී තිබෙනවා.

මේ ආකාරයෙන් දිගින් දිගටම රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය රුපියල් 280කට අඩු වී ගියහොත් උන්ඩියල් ක්‍රමයට ගනු-දෙනු කරන්නට දැඩි අර්බුදයකට මුහුණ පාන්නට සිදු වනු ඇතැයි ඔවුන් බියකින් සිටින බව ද මූල්‍ය වෙළෙඳ පොළ තොරතුරු හෙළි කරනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් දීමට කොළ එළි දැල්වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල ද වර්ධනයක් සිදු ව තිබෙනවා.

කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය, S & P දර්ශකය සහ පිරිවැටුම පෙර දිනට (07) සාපේක්ෂව පෙරේදා (08) ඉහළ ගොස් තිබෙනවා.

පෙරේදා සමස්ත මිල දර්ශකය ඒකක 9333.83ක් වූ අතර, එය ඊයේ 9444.92ක් දක්වා වැඩි වී තිබෙනවා.

ඊට අමතරව S & P දර්ශකය පෙරේදා 2828.32ක් වූ අතර ඊයේ දිනයේ දී එය 2838.18ක් දක්වා වැඩි වී තිබෙනවා.

මෙලෙස කොටස් වෙළෙඳපොළ ඉහළ යාම කෙරෙහි ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීම, ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි අරමුදල් සැපයීමට ක්‍රියාකිරීම මූලිකව බලපා ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ තොරතුරු විශ්ලේෂකයෝ පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ද සියයට 4.5කින් වැඩි වී තිබෙනවා.

ඒ අනුව 2023 ජනවාරී මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 2121ක් වූ මෙරට නිල සංචිත මෙම වසරේ පෙබරවාරියේ දී 2217ක් දක්වා වැඩි වී තිබෙනවා.