hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 10:32



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වෙළුම්ද ඇතුළත් සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පෙරේදා (24) පෙරවරුවේ රදගුරු සමුළුවේ සභාපති කුරුණෑගල රදගුරු හැරල්ඩ් ජේ. ඇන්තනී හිමිපාණන් වෙත භාර දී තිබෙනවා .

එම වාර්තාවේ මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වෙළුම් ඇතුළත් සී.ඩී. තැටි හයක් සහ ලිපියක් මහජන ආරක්ෂක අමාත්‍යවරයා රදගුරු හිමියන් වෙත භාර දී තිබෙනවා.

එම අදාළ වෙළුම් සියල්ල රදගුරු සම්මේලනය වෙත භාර දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද එකඟතාව සහිතවයි.

මින් පෙර මහජන ආරක්ෂක අමාත්‍යවරයා රදගුරු හිමියන් කුරුණෑගලදී හමුවූ අවස්ථාවක පාස්කු ප්‍රහාරයට පෙර, පාස්කු ප්‍රහාරය දා සහ ඉන්පසු ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් සහ යෝජනා ඇතොත් ඉදිරිපත් කිරීම සඳහා රදගුරු සම්මේලනය සමඟ සාකච්ඡා කිරීමට ආරාධනා කොට තිබෙනවා.

අමාත්‍යවරයා රදගුරු සමුළුවේ සභාපති වෙත යැවූ ලිපියෙන්ද මේ බව සිහිපත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා භාර දුන් වෙළුම් සියල්ල අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී රදගුරු සම්මේලනය නිල ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි කොළඹ අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ජනපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් නොකළ බවට ඉකුත්දා (21) පැවති පාස්කු ප්‍රහාරයේ සිවු වැනි සමරුවේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද චෝදනා කළා.