hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 14, පෙ.ව. 3:23



මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට පෙර රුපියල් කෝටි 77 ක මුදලක් ඉල්ලා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළා.

ඒ අනුව මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ලැබුණු අතර එම මුදල් මැතිවරණයේ මූලික කටයුතු සඳහා වැය කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර පළාත් මැතිවරණ කටයුතු සඳහා පසුගිය මාසයේදී පමණක් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක පමණ මුදලක් වැය කළ බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළා.

මැතිවරණ වියදම් සඳහා තවත් මුදල් අවශ්‍ය වන අතර එම මුදල් ඉදිරියේදී ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

මේ අතර මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (13) පස්වරුවේ ලිඛිතව දැනුම්දී තිබුණා.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනියගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ වුණා.

මූලික මුද්‍රණ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් රජයේ මුද්‍රණාලයට රුපියල් කෝටි හතරක් දැනටමත් ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පැවසූවේ.

මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාව ද රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් රජයේ මුද්‍රණාලයට ලබා දී තිබෙනවා.

සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා දෙන්නේ මුදල් ප්‍රතිපාදනයක් බවත් එම ප්‍රතිපාදනය පසුව මුද්‍රණාල ප්‍රධානීන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් කරගන්නා බවත් වාර්තා වනවා.

සෑම මැතිවරණයකදීම සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මුදල් ලබා දුන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයෙන් පසුව බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ සේවක සංගම් අතරද කිසියම් කඹ ඇදීමක් පවතින බව වාර්තා වනවා.

ඇතැම් සංගම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ යුතුයැයි පවසන අතර අනෙක් ඒවා පවසන්නේ මුදල් දෙන තුරු මුද්‍රණය නොකළ යුතු බවයි.