hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 19, පෙ.ව. 9:42



පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මහ නගර සභාවල නගරාධිපතිවරු රාජකාරි නිල වාහනය තවමත් භාවිතා කරමින් තම වරප්‍රසාද අවභාවිතා කරන බවට ජනතාව චෝදනා කරනවා.

මෙම සභාපතිවරුන්ගෙන් කිහිප දෙනෙකු හැර අන් සියලු දෙනා මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වී සිටින මොහොතක මෙලෙස රාජකාරි නිල වාහන භාවිත කිරීම සදාචාර විරෝධී නොවේ දැයි ජනතාව ප්‍රශ්න කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ප්‍රාදේශීය සභා 18ක් සහ එක් මහ නගර සභාවක් පවතිනවා. ජනතාව පවසන්නේ මෙම සියලු ප්‍රාදේශීය සභාවල සහ නගර සභාවල සභාපතිවරු අපේක්ෂකයන් ලෙසත් කීපදෙනකු අපේක්ෂකත්වය නොලබත් දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටින බවයි.

එවන් අවස්ථාවක ජනතා මුදලින් නඩත්තු වන මෙම ආයතනවල නිල වාහන භාවිතා කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බව ඡනතාව වැඩිදුරටත් පවසනවා.

වර්තමාන රජය දැඩි ආර්ථික ප්‍රපාතයකට වැටී මැතිවරණය පවා පැවැත්වීමට අපහසු තත්ත්වයක සිටින මෙවන් මොහොතක අපේක්ෂකයන් බවට පත්වූ සභාපතිවරුන් රජයේ මුදල්වලින් ලැබෙන ඉන්ධන සහ රියදුරන් භාවිතා කරමින් සිය පෞද්ගලික ගමන් බිමන් යෑමත් කෝටි ගණන් වටිනා වාහන අව භාවිතා කිරීමත් කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනතාව සඳහන් කරනවා.

ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මැතිවරණ කොම්ෂන් සභාවේ අවධානය හෝ යොමුකර මෙලෙස රජයේ මුදල් නිරපරාදේ විනාශ කිරීම නවතා දෙන ලෙසටයි. 

මෙම තත්ත්වය දිවයිනේ සෑම තැනකම පවතින බවයි මෙම චෝදනාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත මහතා පවසන්නේ.

නිල වාහන භාවිත කිරිමට සභාපතිවරුන්ට සහ නගරාධිපතිවරුන්ට නීතියානුකූල බලය ඇති මුත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවා.