hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 07, පෙ.ව. 9:51



මුදල් අමාත්‍යාංශයෙන් පළාත් පාලන ඡන්දය සඳහා එකවර මුදල් ලබාදීමට අපහසු නම් කොටස් වශයෙන් හෝ මුදල් ලබාගෙන එසේ ලැබෙන මුදලට අනුව ඡන්ද විමසීම කොටස් වශයෙන් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අනුව මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙන ආකාරයට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට හෝ එකවර දිස්ත්‍රික්ක දෙකක් හෝ තුනක් වශයෙන් ඡන්ද විමසීම පවත්වා අවසන් කිරීමට සැලසුම් කිරීම කෙරෙහි යෝජනා වී ඇති බවද දැනගන්නට තිබෙනවා.

එලෙස ඡන්ද විමසීම කොටස් වශයෙන් සිදු කෙරෙන්නේ නම් ඡන්දය පැවැත්වෙන දිනයද ඒ අනුව වරින් වර ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බවද ලැබී ඇති ආරංචි මඟින් කියැවෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවද වාර්තා වෙනවා.

එම සාකච්ඡාවේදී එකඟතාවකට එළැඹුණහොත්, පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාරදී ඇති සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් සමඟ සාකච්ඡා කළයුතු බවටද යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාගැනීම සහ ඡන්ද විමසීමේදී සම්බන්ධ වන ප්‍රධාන ආයතන සමඟ මැතිවරණ කොමිෂන් සභාව අද (07) පැවැත්වෙන සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වන බවට මැතිවරණ බලධාරීහු විශ්වාසය පළ කරනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති, රජයේ මුද්‍රණාලයාධිපති, තැපැල්පති ඇතුළු ඡන්දයට ඍජුව දායකත්වය ලබාදෙන ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසම හමුවට පැමිණීමට නියමිතය. මේ අතර දේශපාලන පක්ෂ ලේකම්වරු හා නියෝජිතයන් සමඟ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.