hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 10, ප.ව. 1:12



පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය පිළිබඳ කිසිදු සඳහනක් නොකර මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලබාගන්නා ලෙස ඉකුත් 7 වැනිදා උදේ පැවැති සාකච්ඡාවේදී. දැනුම් දුන් මැතිවරණ කොමිසම එදින සවස ඡන්ද විමසීමේ දිනය තීරණය කිරීම ප්‍රයෝගික නැතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මුද්‍රණ කටයුතු සඳහා මුදල් ඉල්ලා, ඉකුත් 7  වැනිදාම ලිපියක් යොමු කළ අතර ඊට කිසිදු පිළිතුරක් මෙතෙක් නොලැබුණු බවද මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා.

මෙවැනි පසුබිමක් යටතේ තැපැල් ඡන්ද පත්‍රිකා මෙම මස 15දා ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තමාට දැනුම් දුන් බවත් දින පහක් තුළ කිසිසේත්ම එම ඉල්ලීම ඉටු කළ නොහැකි යැයිද, අවශ්‍ය මුදල් හා පොලිස් ආරක්ෂාව නොලැබුණහොත් තමාට ඡන්ද පත්‍රිකා ඇතුළු සෙසු මුද්‍රණ කටයුතු සිදුකළ නොහැකි යැයි ඇය පැවැසුවා.

අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් මුද්‍රණ කටයුතු සිදු කරන ලෙසත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තමා වෙත 9දා උදේ දැනුම් දුන් බවත් මුදල් ලබා නොදී ප්‍රතිපාදන සඳහන් ලිපියක් මඟින් මුදලින් කළ යුතු කාර්යයන් සිදු කරන්නේ කෙසේදැයි පෙන්වා දුන් මුද්‍රණාලයාධිපතිනිය, මැතිවරණ කොමිසම මුදල් දුන්නොත් මුද්‍රණ කටයුතු සිදු කර දෙනවා යැයි පැවැසුවා.

මුද්‍රණ වියදම් ඉහළ ගොස් ඇති බවත් අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් මුද්‍රණ කටයුතු ආරම්භ කළ හැකි බව සඳහන් කළ මුද්‍රණාලයාධිපතිනිය ඡන්ද පත්‍රිකා සහ  ප්‍රතිඵල ලේඛන මුද්‍රණය කිරීමේදී ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාව අනිවාර්යයෙන් ලබා දිය යුතු බව කියා සිටියා.

ඡන්ද පත්‍රිකා ඇතුළු සෙසු මුද්‍රණ කටයුතු අවසන් කිරීමට දින 25 – 30ත් අතර කාලයක් අවශ්‍ය වන බවද ඇය සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් 7 වැනිදා සාකච්ඡාවට කැඳවා තිබුණු මුදල් අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම සාකච්ඡාවට පැමිණ නැති බව වාර්තා වෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපති, ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් පස් දෙනකු, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.