hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 12, පෙ.ව. 9:07



පළාත් පාලන ඡන්දය අවසන් වනතෙක් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත් කිරීම සිදු නොවන බව ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසුවා.

මේ වන විට ස්වාධීන කොමිෂන් සභා කිහිපයකට අලුතින් සාමාජිකයන් පත්කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති පසුබිමක එම ඡන්දය පැවැත්වෙන දිනයක් ප්‍රකාශයට පත් නොවුණහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය යටතේ පත්කළ යුතු ස්වාධීන කොමිෂන් සභා අතරින් මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත්කිරීම ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ මැතිවරණ න්‍යාය පත්‍රයට අනුව කල් ඉකුත්වී ඇති පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය මුලින්ම පැවැත්විය යුතුව තිබූ අතර එය 2018 වසරේ මෙන් මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පසුගිය වසරේදී සඳහන් කළා.

පළාත් පාලන ඡන්දයට අදාළ ඡන්ද සලකුණු කිරීම පසුගිය මාර්තු 28, 29, 30, 31 දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිසම මීට පෙර සැලසුම් කර තිබුණු නමුත් තැපැල් ඡන්ද විමසීම එම දිනවල නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම මාර්තු 23 වැනිදා නිවේදනය කර සිටියා.

මේ අතර කාලයේදී එම කොමිසමේ සාමාජිකාවක හැටියට කටයුතු කළ පී. එස්. එම් චාල්ස් මහත්මිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර පසුව ඇය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හැටියට පත්වීම් ලැබුවා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව සහතික කළ තොරතුරු අනුව 2023 පෙබරවාරි 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවීමට තීරණය කරනු ලැබුවේ පසුගිය ජනවාරි 25 වැනිදා වන අතර පොලිස් කොමිසමට හා ප්‍රසම්පාදන කොමිසමට මේ වනවිට නව සාමාජිකයෝ පත්කරනු ලැබ සිටිනවා.