hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 15, ප.ව. 3:00



අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙලෙස විදුලි ගාස්තුව ඉහළ දැමීමට  සභාපති ජනක රත්නායක මහතා විරෝධය පළ කළද, සෙසු සාමාජිකයින් තිදෙනා ඊට එකඟත්වය පළකිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වී තිබෙයි.

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 02 වන දා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙම යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම අපේක්ෂා කෙරෙනවා.

සියලු පාර්ශ්වයන්ගේ යෝජනා අනුව රුපියල් බිලියන 142ක ආදායමක් ලැබෙන පරිදි 36%ක අඩු විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසම සකස් කළ අතර, එය සභාපතිවරයා විසින් ඊයේ කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළා.

සභාපතිවරයා පමණක් ඊට අනුමැතිය ලබාදුන්න ද සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න විරෝධය පළ කිරීම නිසා එය ප්‍රතික්ෂේප වුණා.

ඉන් අනතුරුව කැබිනට් අනුමැතිය ලද ලංකා විදුලිබල මණ්ඩලය සකස් කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව සෙසු සාමාජිකයින් තිදෙනා විසින් ඉදිරිපත් කළ අතර ඔවුන් එය අනුමත කර තිබුණා.

සභාපතිවරයා පමණක් ඊට විරුද්ධ වුවද කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත මත විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව සම්මත වුණි.

මෙම නව සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩය යටතේ මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරෙනු ඇති.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතයි.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුව කිසිදු වෙනසක් සිදුකර නොමැත.

එසේම ස්ථාවර ගාස්තු ද ඉහළ යන අතර ඒ අනුව මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබෙනවා.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත් වැඩි කෙරෙනු ඇති.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන, කර්මාන්ත අංශ, පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා අය කළ විදුලි ගාස්තු සහ ස්ථාවර ගාස්තුද වැඩි කිරිමට යෝජනා වී තිබෙනවා.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණයි.