hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 28, ප.ව. 8:04



නාමල් උයන රක්ෂිතයේ සහ කලා වැව රක්ෂිතයේ වසර 50කට අධික කාලයක් සැරිසැරූ “බරණ” නමින් හඳුන්වන ඇතාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අලි මිනිස් ගැටුම්ට වහා විසඳුම් ලබා දීම රජයේ වගකීමක් බව නාමල් උයන භාරකාර වනවාසී රාහුල හිමියෝ ඊයේ (27) පැවසූවා.

පෙරේදා (26) නාමල් උයන රක්ෂිතය ඉදිරිපිට වන ලැහැබක වැටී මියගොස් සිටි බරණ නමැති ඇතාගේ මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට දැනුවත් කොට තිබෙනවා.

බරණ නැමති මෙම ඇතාගේ සොඬයේ පිලිස්සු තුවාල කිහිපයක් දක්නට තිබෙන බවත් කිසියම් පිරිසක් මෙම ඇතාගේ ජීවිතය විනාශ කළ බවට ප්‍රදේශවාසීහු සැක පළ කරනවා. 

එම ස්ථානයට වැඩම කළ නාමල් උයන භාරකාර වනවාසී රාහුල හිමියන් දැඩිව කියා සිටියේ මෙම ඇතාගෙන් කිසිදු අයෙකුට කිසිදු කරදරයක් නොවූ බවයි.

මෙම ඇතා සමඟ තවත් ඇතුන් දෙදෙනෙකු නිරන්තරයෙන් මෙම ප්‍රදේශයේ ගැවසුණු බවත් පෙන්වා දෙන උන්වහන්සේ වසර ගණනාවක සිට අලි මිනිස් ගැටුම සඳහා රාජ්‍ය නිලධාරී කටයුතු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවද උන්වහන්සේ සඳහන් කළා.

කෙසේ වෙතත් අතීතයේ සිටම රටේ පාලන අධිකාරිය රාජ්‍ය නිලධාරී ත්‍රස්තවාදය නිසා අසරණ මිනිසුන්ගේ ජීවිත, අසරණ සතුන්ගේ ජීවිතය දිනෙන් දින විනාශ වන බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

බරණ නැමති මෙම ඇතා නැරඹීම සඳහා ලෝකයේ බොහෝ රටවල සිට සංචාරකයන් පැමිණෙන බවත් බරණ නැමැති ඇතා නිකම්ම නිකන් ඇතෙක් නොව ඔහු මෙරටට ඩොලර් උපයා දුන් ඇතෙක් බව උන්වහන්සේ අවධාරණය කළා.

ඇතාගේ මරණයට හේතුව වහාම සොයා බලා වැරදිකරුවන් හට දඬුවම් ලබා දිය යුතු බවත් මෙම අලි මිනිස් ගැටුමැටුම්වල දී සිදුවන සෑම ඝාතනයක් ම වගකීම එදා සිට අද දක්වා පාලනය කළ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරීන් විසින් භාරගත යුතු බව ද උන්වහන්සේ චෝදනා කරන්නට වුණා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස