hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 8:50



ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර තීරණය කර තිබෙනවා.

ඒ අනුව කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත එම රෝගීන් මාරු කර එවන බව දන්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මේ අතර, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති නිසා අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් සිදුකළ යුතු රෝගීන් එම රෝහලට එවීමෙන් වළකින්නැයි ද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් ද කර ඇතැයි වාර්තා වනවා.

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් එවීමෙන් ද වළකින්නැයි වෛද්‍ය බණ්ඩාර එම අධ්‍යක්ෂවරුන් වෙත යැවූ ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චන්දන කරුණාරත්න මහතා පසුගිය සතියේ එක්සත් රාජධානිය බලා ගොස් ඇත්තේ එහි වෛද්‍යවරයෙකු ලෙස රැකියාව ලැබීම හේතුවෙන්.

අනතුරුව එම තනතුරට තාවකාලිකව අනුයුක්ත කරනු ලැබුයේ විශේෂඥ වෛද්‍ය පුහුණුවට එක්සත් රාජධානිය බලා යාමේ බලාපොරොත්තුවෙන් සිටි වෛද්‍යවරියක්. ඇය ද එම පුහුණුව සඳහා පසුගිය දා පිටව ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් අද වන විට එම රෝහලේ සුදුසුකම් ලත් නිර්වින්දන වෛද්‍යවරුන් කිසි‍වකුත් නොමැති බවයි වාර්තා වන්නේ.

සුදුසුකම් ලත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති රෝහලක සැත්කම් කළ නොහැකිවාක් මෙන්ම දැඩි සත්කාර ඒකකයක් ද පවත්වාගෙන යා නොහැකි යි.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මේ දිනවල අවුරුදු සමයේ සිදුවන විවිධ අනතුරු හේතුවෙන් ගෙන එන සැත්කම් කළ යුතු තත්ත්වයේ සිටින රෝගීන් හා තුවාලකරුවන් සියලු දෙනා ආසන්න රෝහල්වලට මාරු කර යවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.