hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 04, ප.ව. 12:43



ඉදිරියේදී පැවැත්වෙන විභාගවල පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහළ දමන බවට අධ්‍යාපන බලධාරීන් පොරොන්දු වුව ද, එය ඉටු නොවන තැනට කරුණු යෙදී ඇතැයි වාර්තා වෙනවා.

විභාග පිළිතුරුපත් පරීක්ෂා කරන ගුරුවරුන් වෙනුවෙන් රුපියල් තුන්දහසක සංවෘත දීමනාවක් ගෙවන බව පැවසුව ද මේ වනවිට එය “පුස්සක්” බවට පත්ව තිබෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

එම පිරිසට රුපියල් තුන්දහසක සංවෘත දීමනාවක් ගෙවීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇතත් ඒ සඳහා අනුමැතිය හිමිව නැතැයි ද ඔහු සඳහන් කර තිබෙනවා.

රුපියල් තුන්දහසක සංවෘත දීමනාව වෙනුවට රුපියල් දෙදහසක සංවෘත දීමනාවක් ගෙවීමට පමණක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි ද හෙතෙම අවධාරණය කළා.

පිළිතුරු පත්‍ර පරීක්ෂකවරු වෙනුවෙන් ගෙවීම සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමිව ඇති රුපියල් දෙදහසක දීමනාව පවතින ආර්ථික තත්ත්වය හමුවේ කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව ද ස්ටාලින් පෙන්වා දුන්නා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගැයීමේ කටයුතු ඉකුත් පෙබරවාරි 22 වන දා ඇරැඹීමට නියමිතව තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් මෙරට විභාග කාලසටහන් සැලසුම් තවත් කල් යාමක් සිදුවන බ වද පිළිතුරු පත් ඇගැයීම් කටයුතු පමා වුවහොත් එය අනෙකුත් විභාග සඳහාත් බලපාන බව ද ඔහු පෙන්වා දුන්නා.