hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 29, පෙ.ව. 12:08



සාමාන්‍ය පෙළ විභාගය අද (29) සිට ආරම්භවීමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය විභාගය මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වෙන අතර, ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුනක්.

එමෙන් ම බන්ධනාගාර රැදවියන් 10 දෙනෙකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

වටරැක සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පස්දෙනෙකු බැගින් ඊට ඇතුළත්.

ඔවුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ නව මැගසින් බන්ධනාගාරයේයි.

මේ අතර, විභාගයට මුහුණදෙන සිසුන් හට සමබර ආහාර වේලක් සහ සුව නින්දක් ලබාදීම වැදගත් බවයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ.

මේ අතර අද (29) දිනයේ ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ, අනුව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ජංගම සංචාර, පාමුර සංචාර සහ විශේෂ යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පවසන්නේ.

විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ පිළිතුරු පත් එකතු කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් ද පොලිස් නිලධාරීන් 1707ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම තමන් පදිංචි ස්ථානය ආසන්නයේ විභාග මධ්‍යස්ථානයක් පිහිටා ඇත්නම් එම විභාග කටයුතු බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.