hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:10



ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයකට රුපියල් 400,000ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අදාළ ආයතනයට එරෙහිව චෝදනා හතරක් යටතේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

පසුගිය අගෝස්තු 28 වැනිදා සිදුකළ වැටලීමකදී, අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය අවශ්‍ය වන විදුලි දිගු රැහැන් SLS ලාංඡනයකින් තොරව රුපියල් 2,790ක මිලකට අලෙවි කරමින් තිබියදී හඳුනාගෙන ඇත.

මීට අමතරව, එම භාණ්ඩ සඳහා අවම වගකීම් කාලයක් ලබා නොදීම සහ සැපයුම්කරුවන්ගෙන් ලබාගත් නීත්‍යානුකූල බිල්පත් නොමැතිව භාණ්ඩ අලෙවිය සඳහා තබා තිබීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.

අධිකරණය හමුවේ අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකාර සමාගමට රුපියල් 400,000ක දඩයක් නියම කර ඇත. විදුලි උපාංග කිහිපයකට SLS සහතිකය අනිවාර්යයි 2017 දෙසැම්බර් 7 වැනිදා නිකුත් කළ අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 63 දරන විධානය යටතේ වෝල්ට් 250 නොඉක්මවන විදුලි උපාංග කිහිපයක් සඳහා අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය නියම කර තිබේ.

ඒ අනුව පේනු (Plugs), Socket Outlets, විදුලි දිගු රැහැන් (Extension Cords), ඇඩප්ටර්, Fused Connection Units, පරිවර්තක පේනු සහ Cable Reels සඳහා අදාළ SLS ප්‍රමිති සහතිකය තිබීම අනිවාර්ය වේ.

පාරිභෝගිකයන්ට දැනුම්දීමක් විදුලි අනතුරු සහ ගිනිගැනීම් වළක්වා ගැනීම සඳහා මෙවැනි විදුලි උපාංග මිලදී ගැනීමේදී ඒවායේ SLS ප්‍රමිති ලාංඡනය සහ වගකීම් කාලය පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම භාණ්ඩ මිලදී ගැනීමේදී නීත්‍යානුකූල බිල්පතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසද පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: