hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 10, පෙ.ව. 10:39



දරිද්‍රතාවය නිසා පාසල් ගමන නැවතී ඉතා අසරණව සිටින දරුවන් පස් දෙනකු ඇතුළු පවුලක්  පිළිබඳ තොරතුරක් මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  දිවිල්ල වත්තේගෙදර  ප්‍රදේශ්යෙන් වාර්තා වෙනවා.

වයස අවුරුදු 73ක් වූ ඩබ්ලිව්.ජි.ප්‍රේමාවතී මිත්තණිය ළඟ මෙම පාසල් වයසේ පසුවන දරුවන් පස්දෙනා දිනකට එක වේලක් ආහාර ගෙන ජීවත්වන බවත් ඔවුන් හට පාසල් ගම්න නැවත ලබා දෙන්නට කාගේ හෝ පිහිටක් අවැසි බව ප්‍රදේශීය කාන්තාවක විසින් අපට දැනුවත් කරන්නට වූවා.

ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්, දේශපාලන අධිකාරිය සෑම අයෙකුටම මෙම පාසල් වියේ පසුවන දරුවන් පස් දෙනා පිළිබඳව දැනුවත් කළ ද මෙතෙක් කිසිදු උත්තරයක් නොමැති වූ තැන අඩුම තරමේ මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා රටේ පුරවැසියන්ගේ අවධානයද යොමු කරලීම තම අරමුණ වූ බව ඇය වැඩිදුරටත් අප සමඟ සඳහන් කළා.

මෙම නිවසේ පදිංචිව සිටින ඩබ්ලිව්.ජි.ප්‍රේමාවති මිත්තණියගේ දියණියන් දෙදෙනෙකුගේ වයස අවුරුදු  05 සිට 15 දක්වා වූ වයස්වල පසුවන මුනුබුරු මිනිබිරියන් පස්දෙනෙකු සිය පාසල් දිවියට මේ ආකාරයෙන් සමු දී තිබෙනවා.

ඒෂියන් මිරර් වාර්තාකරු මෙම නිවෙසට යන අවස්ථාවේදී ද කොස් ගෙඩියක් කඩාගෙන විත් දරුවන්ට ආහාර සඳහා ලබාදීමට මෙම මිත්තණිය සූදානමින් කරමින් සිටි බව වාර්තා වෙනවා.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන මෙම දරුවන්ගේ පියවරුන් නොමැතිවීම තවත් ඛේදවාචකයක්.

අධ්‍යාපනය නොලැබූ එම දරුවන්ගේ මව්වරුන් දෙදෙනාද උදෑසන නිවසෙන් පිටව ගොස් කුලී වැඩක් කරගෙන නැවත සවස ගෙදර එන බව මිත්තණිය අප සමග පැවසුවා.

වයස අවුරුදු 15ක්වූ දියණිය අප සමග කියා සිටියේ තම සියලු දෙනාම පාසල් යෑමට කැමැත්තක් දක්වන බවයි.

එක් දරුවෙකු තවමත් පාසල්ට භාරදීම හෝ සිදු කර නැති බවද මෙහිදී අනාවරණය වුණා. 

එම දරුවාට මෙතෙක් උප්පැන්න සහතිකය පවා ලබාගෙන ඇති බව ද මිත්තණිය සඳහන් කළා.

වයස අවුරුදු 14 මෙම පවුලේ පිරිමි දරුවා මේ වන විට විවිධ රැකියා වලට හුරුවෙමින් සිටින බවත් එම නිවෙසට යන අවස්ථාවේදී ද ඔහු නිවසේ  නොසිටි අතර එම දරුවා සොයා ගෙන යන්නට අපට සිදු වීම විශේෂත්වයක්.

ඔහු ප්‍රදේශයේ තරුණයන් සමග එක්ව මුදල් ඉපයීම් සඳහා අලිගැටපේර කැඩීම සඳහා ගස් වලට නැගීම සිදු කරන බව සඳහන් කළා.

මෙම සියලු දෙනා පදිංචිව සිටින කුඩා නිවස වැහි කාලයට සම්පුර්ණයෙන්ම වතුර ටැංකියක් සේ තෙමී විනාශයට ලක් වෙන බව ද පෙන්වා දෙන අතර නිසි ලෙස ආහාරයත් ඇඳුම්ක් පැළඳුමක් නොමැති වීම දරිද්‍රතාවය නිසාම ප්‍රදේශ්යෙන් යම් මට්ටමකින් කොන් කිරීම ආදී කරුණු නිසා මෙම පවුලේ උදවිය කම්පනයට පත්ව සිටින බව ප්‍රදේශයේ පිරිස අප සමග සඳහන් කළා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස