hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 07, ප.ව. 12:06



යල කන්නය සඳහා මඩ පොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලේ බෙදා හැරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අප්‍රේල් මස 10 දිනට පෙර TSP පොහොර ලබා නොගත් සියලු ගොවීන් ඒවා ලබා ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

නැතහොත් අප්‍රේල් මස 10 වන දායින් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

අද (06) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා TSP පොහොර හා අනෙකුත් පොහොර බෙදා හැරීමේ ප්‍රගතිය පිළිබඳව රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විමසනු ලැබුවා.

ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සියලු ම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇති අතර මේ වන විට ගොවිජන බල ප්‍රදේශ 38ක ගොවීන්ට TSP පොහොර බෙදා හැර අවසන් කර තිබෙනවා.

ඊයේ දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර මෙතෙක් නොමිලේ බෙදා හැර ඇති TSP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,644ක්.

මෙවර යල කන්නයේදී අනෙකුත් පොහොර වර්ග, බීජ හා පළිබෝධ නාශක මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් බැගින් හා හෙක්ටෙයාර් 2කට රුපියල් 40,000ක් බැගින් නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් ගොවි ගිණුම්වලට බැර කිරීමට රජය පියවර ගෙන ඇතැයි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර යල කන්නයේ අපි TSP පොහොර නොමිලයේ දෙනවා. මඩ පොහොර හා යුරියා පොහොර ඇඟට දැනෙන මිලකින් අඩු කරනවා. ඒ විතරක් නොවෙයි. පොහොර හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා රුපියල් 20,000 සිට 40,000ක් බැගින් ලබා දෙනවා. දිස්ත්‍රික්ක 06ක ගොවි පවුල් 48,000කට මෙම මුදලට අමතරව රුපියල් 15,000 බැගින් වාරික දෙකකට රුපියල් 30,000ක මුදලක් වශයෙනුත් ලබා දෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.